ත්‍රිපිටකය ඉංග්‍රීසි භාෂාවෙන් අන්තර්ජාලයට

ත්‍රිපිටකය ඉංග්‍රීසි භාෂාවෙන් අන්තර්ජාලයට

ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති සම්බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාව ඉංග්‍රීසි අකුරෙන් ලියා අන්තර්ජාලයට මුදා හැරීමටත්, පසුව මුද්‍රණය කිරීමටත් ඉදිරියේදී කටයුතු කරන බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසයි.

මේ සම්බන්ධයෙන් මහා සංඝරත්නය සහ අමාත්‍යවරයා අතර අමාත්‍යාංශයේ දී පැවැති සාකච්ඡාවකින් අනතුරුව විදුර වික්‍රමනායක මහතා මේ බව පැවැසීය.

ත්‍රිපිටකය දේශීය හා ජාත්‍යන්තර වශයෙන් අධ්‍යයනය කිරීම සඳහා උනන්දුවක් දක්වන ගිහි පැවිදි සියලු පාර්ශවයන් වෙනුවෙන් හා බුදුදහම ලොව පුරා ව්‍යාප්ත කිරීමේ අරමුණින් යුතුව මෙම තීරණය ගෙන තිබෙන අතර, අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේලාගේ අනුශාසනා හා අනුමැතිය ලබා ගැනීමෙන් අනතුරුව මෙම කාර්යය සිදු කිරීමට නියමිතය.

මෙම කටයුත්ත සාර්ථකව සිදුකිරීම සඳහා උත්තරිතර මණ්ඩලය, අධීක්ෂණ මණ්ඩලය හා ක්‍රියාකාරී මණ්ඩලය ලෙසින් මණ්ඩල 03ක් පත්කිරීමට හා මේ සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීමට ද කටයුතු කළ යුතු බව අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

Share This