කටුනායක වීසා දෙන වැඩේ වෙන සමාගමකට පවරන්න ටෙන්ඩර් ඕන නෑ – ඇමති ටිරාන්

කටුනායක වීසා දෙන වැඩේ වෙන සමාගමකට පවරන්න ටෙන්ඩර් ඕන නෑ – ඇමති ටිරාන්

කටුනායක ගුවන් තොටුපොළේ විද්‍යුත් වීසා සැපයීමේ කටයුතු සඳහා සමාගමක් තෝරාගැනීමට ටෙන්ඩර් කැඳවීමේ අවශ්‍යතාවක් නොමැති බව මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතා පවසයි.

ටෙන්ඩර් ක්‍රියාවලිය සම්බන්ධයෙන් එල්ල වන චෝදනා වලට ප්‍රතිචාර දක්වමින් ඔහු පවසන්නේ විවිධ රටවල විද්‍යුත් වීසා ක්‍රියාවලියට සම්බන්ධ එකම සමාගම් මේවා බැවින් ටෙන්ඩර් කැඳවීමේ අවශ්‍යතාවක් නොමැති බවයි.

එම යෝජනාව පැමිණි පසු එය අධ්‍යයනය කිරීමට කමිටුවක් පත්කර වාර්තාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ බව ඔහු සඳහන් කරයි.

ඇමැතිවරයා කියා සිටියේ ඊට ඇමැතිමණ්ඩල අනුමැතිය හිමිවූයේ ඉන් පසුව බවයි.

වීසා ගාස්තුව කුමක් වුවත් එය රජයට ආපසු ලැබෙන බවත් වීසා ගාස්තු මීට පෙර රෙගුලාසි වලට අනුව පාර්ලිමේන්තුව විසින් ඒකමතිකව අනුමත කරන ලද බවත් ඔහු සඳහන් කරයි.

ඇමැතිවරයා පෙන්වාදෙන්නේ දැන් හඬා වැලපෙමින් සිටින විපක්ෂය පවා ඒ අවස්ථාවේ පාර්ලිමේන්තුවේදී එය අනුමත කළ බවයි.

බාහිර සමාගමට ඔවුන් සපයන සේවාවන් සඳහා අමතර ගාස්තු පමණක් ලැබෙනු ඇති බවත් තමන් සිංගප්පූරුවේ සිට ආපසු පැමිණි පසු සඳුදා මාධ්‍ය හමුවක් පවත්වා සියලු චෝදනා සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වන බවත් ඔහු පැවසීය.

Share This