යාපනය A-9 මාර්ගයේ දරුණු අනතුරක්

යාපනය A-9 මාර්ගයේ දරුණු අනතුරක්

යාපනය මහනුවර ඒ-9 මාර්ගයේ කිළිනොච්චියේ අලිමංකඩ ප්‍රදේශයේදී ලංගම බස් රථයක් හා වෑන් රථයක් මුහුණට මුහුණ ගැටී අද (24) උදෑසන සිදුවූ අනතුරකින් එක් අයෙකු මියගොස් 9 දෙනෙකු තුවාල ලබා තිබේ.

යාපනය සිට මහනුවර බලා ධාවනය වු ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් හා කටුනායක ගුවන්තොටුපොළ වෙත ගොස් නැවත යාපනය වෙත ගමන්ගත් වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලිසිය පැවසීය.

අනතුරෙන් තුවාල ලැබූවන් කිළිනොච්චිය රෝහලට ඇතුළත් කර තිබේ.

අනතුරෙන් මියගොස් ඇත්තේ, වෑන් රථයේ රියදුරා වන අතර තුවාල කරුවන්ද වෑන් රථයේ ගමන් කළ පිරිස වෙති.

බස් රථයේ ගමන්කළ පිරිස තුවාල ලබා නොමති අතර මෙම අනතුර හේතුවෙන් බස් රථයට හා වෑන් රථයට දැඩි අලාභහානි සිදුව තිබේ.

බස් රථයේ අධික වේගය පාලනය කරගැනීමට නොහැකිව මාර්ගයේ සිටි ගවයින් රංචුවක ගැටීමෙන් අනතුරුව ඉදිරියෙන් පැමිණි වෑන් රථයේ ගැටී අ‍ැති අතර බස්රථයේ ගැටී ගවයින් 08 දෙනකු මියගොස් තවත් හතර දෙනෙකු තුවාල ලබා ඇති බව පොලිසිය පැවසීය.

මහා මාර්ගයේ ගවයින් නිදැල්ලේ යාම නිසා මේ දිනවල උතුරේ සෑම පළාතකම රිය අනතුරු ඉතා බහුලව සිදුවන බව පොලීසිය දැනුවත් කර තිබියදී මෙම අනතුර සිදුව තිබේ.

Share This