මියගිය සුධර්මාගේ මෙහෙකාරියට වැලිකඩ පොලිසිය තුළදී පහර දීලා! – විමර්ශන වලදී හෙළිවෙයි

මියගිය සුධර්මාගේ මෙහෙකාරියට වැලිකඩ පොලිසිය තුළදී පහර දීලා! – විමර්ශන වලදී හෙළිවෙයි

ටෙලි නාට්‍යය නිෂ්පාදිකාවක මෙන්ම  එක්තරා වකවානුවක රටේ මහත් ආන්දෝලනයට තුඩු දුන් කාන්තා චරිතයක් වූ සුධර්මා නෙත්තිකුමාර ගේ නිවසේ සේවයකළ මෙහෙකාරිය පොලිස් අත්අඩංගුවේ දී  මිය යෑමට පෙර, ඇය වැලිකඩ පොලිසිය තුළ දී පහර කෑමකට ලක්ව ඇතැයි හෙළි වී තිබේ.

මෙම කාන්තාව පොලිස් අත්අඩංගුවේ දී මිය ගිය ආකාරය පිළිබඳ පැවති සැකය නිසා පොලිස්පති නියමයෙන් පොලිස් විශේෂ අපරාධ විමර්ශන ඒකක කළ විමර්ශනයේ දී සාක්ෂි සහිතව මෙම පහරදීමේ සිද්ධිය ඔප්පු වී ඇත.

සුධර්මා පැමිණිල්ල කළ පසු සාමාන්‍ය පැමිණිල්ලක් විෂයෙහි පොලිසිය කටයුතු කරන ආකාරය ඉක්මවා ගොස් දැඩි උනන්දු සහගතව මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති බවත්, එම අත්අඩංගුවට ගෙන ඇති ආකාරය ද නීත්‍යානුකූල නොවන බවත් විමර්ශන අංශ වෙත පෙනී ගොස් ඇත.

වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය

සුධර්මා නෙත්තිකුමාරගේ නිවස පිහිටා ඇත්තේ රාජගිරිය කුරේ මාවතේ රෝයල් ගාර්ඩන් පරිශ්‍රයේ ය. පසුගිය 11 වැනිදා    සුධර්මා නෙත්තිකුමාර වැලිකඩ පොලිසියට ගොස් පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් පවසා ඇත්තේ ඇයගේ නිවසේ සිටි මෙහෙකාරිය ඇයගේ මුද්දක් සොරකම් කර ඇති බවය.

මේ නිවසේ මෙහෙකාරිය ලෙස සේවය කර ඇත්තේ බදුල්ල දෙමෝදර නාවලවත්තේ පදිංචි ආර්. රාජ්කුමාර් නැමැති 42 හැවිරිදි කාන්තාවකි.

මෙම පැමිණිල්ල යොමුකරන විට මෙම කාන්තාව බොරැල්ල කොටාපාරේ නිවසක මෙහෙකාරියක ලෙස සේවය කරමින් සිට ඇත.

සුධර්මා නේත්තිකුමාරගේ පැමිණිල්ල  සිදුකර පැය කිපයක් ඇතුළත වෙනත් නිවසක වැඩකරමින් සිටි මෙම කාන්තාව නීති විරෝධීව අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථානයට රැගෙන විත් ප්‍රශ්න කිරීමට පටන් ගෙන ඇත.

දැනට හෙලි වී ඇති පරිදි  මෙම ප්‍රශ්න කිරීම්  අතර මෙම කාන්තාවට පොලිසිය තුළ දී පහර දී ඇත. අනතුරුව ඇයට හුස්ම ගැනීමේ අපහසුතාවයක් ඇති වු බව කියමින් ඇයව රෝහල් ගත කර තිබේ. .

මේ තත්ත්වය තුළ පසුගිය 11 දා  සවස 06ට පමණ කාන්තාව දැඩි අසාධ්‍ය තත්ත්වයෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

රෝහල්ගතකර පැයක් ඇතුළත කාන්තාව මියගොස් ඇත. අධිකරණ වෛද්‍ය පරීක්ෂණයේ දී මරණය සම්බන්ධව විවෘත තීන්දුවක් ලබා දී ඇත.

සිද්ධිය වූ අවස්ථාවේ දී  වැලිකඩ පොලිසියේ ස්ථානාධිපතිවරයා ඒ  ගැන විමසූ පොලිසියේ ඉහළ නිලධාරීන්ද නොමග යවමින් තොරතුරු වසන් කර තිබුණු බව ද විමර්ශනයේ දී හෙළි වී තිබේ.

මේ කාන්තාව සේවයෙන් ඉවත් වී ඇත්තේ තමන්ට සුධර්මා නෙත්තිකුමාරගේ  නිවසේ සේවය කිරීමට නොහැකි බවට ප්‍රකාශ කරමින් බව ද ඇයට මින් පෙර කිසිම අවස්ථාවක සොරකම් කිරීම පිළිබඳ චෝදනා ගොනු වී නොතිබුණ බවද වාර්තා වේ.

ඇයගේ ඥාතීන් පවසන්නේ අයැගේ නහයෙන් කටින් ලේ වැගිරී තිබුණු බවත්, පාදයක් දැඩි ලෙස ඉදිමී තිබුණු බවත්ය.

ඔවුන් එකහෙළාම පවසා ඇත්තේ මරණය සිදුවූයේ පොලිස් පහරදීමෙන් බවය.

Share This