අවුරුදු 20කට පස්සේ යාපනේ ගිය සෝල්හයිම්ගෙන් ආන්දෝලනාත්මක සටහනක්

අවුරුදු 20කට පස්සේ යාපනේ ගිය සෝල්හයිම්ගෙන් ආන්දෝලනාත්මක සටහනක්

එල්ටීටීඊ ත්‍රස්ත ක්‍රියාකාරකම් හමුවේ දුක්විදි උතුරේ ජනතාව අද ලබන නිදහස ප්‍රශංසනීය බව නෝර්වේ හිටපු විදේශ අමාත්‍ය සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජාත්‍යන්තර කාලගුණ විපර්යාසයන් පිළිබඳ ජනාධිපති උපදේශක එරික් සෝල්හයිම් මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කර තිබුණේ, වසර 20කට පමණ පසු යාපනයට පැමිණ උතුරු පළාත් ආණ්ඩුකාර පී එස් එම් චාල්ස් මහත්මිය හමුවී සාකච්ඡා පැවැත්වූ අවස්ථාවේදීය.

යුධ සමයේ ජාත්‍යන්තර සාම නියෝජිත ලෙස එරිල් සෝල්හයිම් මහතා කටයුතු කළ අතර, හෙතෙම එවක අවස්ථා රැසකදී උතුරු පළාතට පැමිණ තිබුණි.

උතුරේ ජනතාව යළි පදිංචි කිරීම, යටිතල පහසුකම් සංවර්ධනය හා ඔවුන්ගේ පවුල්වල ජීවන තත්ත්වයන් නගා සිටුවීම සඳහා රජය ක්‍රියාත්මක කරන වැඩසටහන් අගය කරන බවද එරික් සෝල්හයිම් මහතා උතුරු පළාතේ කළ සංචාරයෙන් අනතුරුව ප්‍රකාශ කර තිබේ.

එම සංචාරයෙන් අනතුරුව ඔහු සිය x ගිණුමේ ඒ පිළිබඳව සටහනක්ද තබා ඇත.

“වසර විස්සකට වැඩි කාලයකට පසු නැවතත් යාපනයට පැමිණීම මට මහත් සංවේගජනකයි, ශ්‍රී ලංකාවේ යුද්ධය පැවති කාලයේ මම කිහිප වතාවක්ම ආවා. සිංහල සහ දෙමළ යන දෙපාර්ශ්වයේම මගේ හොඳ මිතුරන් බොහෝ දෙනෙක් ඝාතනයට ලක්වෙලා. විශාල දුකක් තියෙන්නේ. මම නැවත යාපනයට සහ කිලිනොච්චියට පැමිණි පළමු අවස්ථාව මෙයයි. මගේ මිත්‍ර නෝර්වීජියානු පාර්ලිමේන්තු මන්ත්‍රී හිමන්ෂු ගුලාටි සහ ProClime හි Kavin Kumar Kandasamy සමඟ සංචාරය කිරීම ඉතා හොඳ දෙයක්, අපට ආරාධනා කිරීම ගැන ආණ්ඩුකාර පීඑස්එම් චාල්ස්ට මම ස්තූතිවන්ත වෙනවා, උතුරු ශ්‍රී ලංකාව දැන් සාමකාමී, එය අපූරුයි. ආරක්ෂාව හොඳයි. කිසිවකුට නැවත යුද සමයට යෑමට අවශ්‍ය නැහැ” යනුවෙන් ඔහු එහි සඳහන් කර තිබේ.

කෙසේවෙතත්, දෙමළ ජනතාවගේ අපේක්ෂාවන් කිහිපයක් තවමත් ඉටු වී නොමැති බවත්, යුද්ධයේදී අතුරුදහන් වූ තම ආදරණීයයන්ට සිදු වූ දේ පිළිබඳ පවුල් දහස් ගණනක් තවමත් අඳුරේ සිටින බවත් සෝල්හයිම් මහතා පවසා තිබේ.

“ඉඩම් පැරණි අයිතිකරුවන්ට සම්පූර්ණයෙන්ම ලබා දී නැහැ. ඓතිහාසික ආගමික ස්ථාන සහ විහාරස්ථාන පිළිබඳ ආරවුල් සාමකාමීව විසඳාගත යුතුයි. උතුරු ශ්‍රී ලංකාවට රැකියා සහ සමෘද්ධිය අවශ්‍යයි. ශ්‍රී ලංකාවට බලය බෙදීමට සිදුවෙයි. දෙමළ අයිතීන් සඳහා වන අරගලය දිගටම පවතියි, නමුත් ඒ ප්‍රචණ්ඩකාරී නොවන ක්‍රම සමඟයි” යනුවෙන් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

Share This