දකුණු ආසියාවේ අධ්‍යාපනය සඳහා අඩුම වියදමක් කරන රට ශ්‍රී ලංකාව

දකුණු ආසියාවේ අධ්‍යාපනය සඳහා අඩුම වියදමක් කරන රට ශ්‍රී ලංකාව

දකුණු ආසියානු කලාපයේ රටවල් අතරින් අධ්‍යාපනය සඳහා අඩුම මුදලක් වෙන් කරන රට ශ්‍රී ලංකාව බවත් මෙරට දළ දේශීය නිෂ්පාදිතයෙන් අධ්‍යාපනය සඳහා වෙන් කරනු ලබන්නේ සියයට 2 කටත් වඩා අඩු ප්‍රමාණයක් බවත් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල ප්‍රකාශ කර ඇත.

පසුගිය වසර තුනක කාලය තුළදී කොවිඩ් වසංගතය හේතුවෙන් වරින්වර පාසල් වසා දැමීමට සිදුවීම සහ ඇති වූ විවිධ බාධා හේතුවෙන් ප්‍රාථමික අංශයේ පාසල් ළමුන් මිලියන 1.6 කගේ පසුබෑමට ලක්වූ අධ්‍යාපනය නැවත නගා සිටුවීම සඳහා ජාතික වැඩසටහනක් දියත් කිරීම අධ්‍යාපන අමාත්‍යංශයේ සහ එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදු විය.එම අවස්ථාව පිළිබඳ සඳහන් කරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙම නිවේදනය නිකුත් කර ඇත.

ජාතික වැඩසටහන දියත් කිරීමේ අවස්ථාව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත සහ එක්සත් ජාතීන්ගේ අරමුදලේ මෙරට නියෝජිත ක්‍රිස්ටියන් ස්කූග් යන මහත්වරුන්ගෙන් ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

අධ්‍යාපන අමාත්‍යංශය මුල් වී සිදු කළ සමීක්ෂණයකදී මෙරට තුන්වෙනි ශ්‍රේණියේ ළමුන්ගෙන් සියයට 85ක් සාක්ෂරතාවය සහ සංඛ්‍යා දැනුම පිළිබඳ ලබා ගත යුතු අවම ප්‍රවීණතාවය ලබා ගෙන නොමැති බවත් එම සිසුන් සාක්ෂරතාවය සහ සංඛ්‍යා දැනුම පිළිබඳ ප්‍රවීණතාවය සපුරා තිබීම ද්විතියික අධ්‍යාපනය ලබා ගැනීමට සහ ඉන් ඔබ්බට අත්‍යාවශ්‍ය කරුණක් බවත් එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල පෙන්වා දී ඇත.

එහිදී අයවැයෙන් අධ්‍යාපනය සඳහා වෙන් කරන මුදල් ප්‍රමාණය වැඩි කිරීම හදිසි අවශ්‍යතාවයක් ලෙස සළකා කටයුතු කළ යුතු බවත් විශේෂයෙන් ප්‍රාථමික ළමුන්ගේ අධ්‍යාපනය සඳහා වෙන් කරන මුදල් ප්‍රමාණය වැඩි විය යුතු බවත් අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසා තිබේ.එසේම රටේ සංවර්ධනය සඳහා අවශ්‍ය මානව සම්පත් කුසලතා ගොඩනැගීම සඳහා අත්‍යාවශ්‍ය අධ්‍යපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම තහවුරු කිරීමද වැදගත් කරුණක් බව ප්‍රේමජයන්ත මහතා පෙන්වා දී ඇත.

මෙම ඉගෙනගැනීම පිළිබඳ අර්බුදය අවදානමට ලක්වූ පවුල්වල සහ වතුකරයේ පවුල්වල ළමුන්ට දැඩිව බලපා ඇතැයි එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල ප්‍රකාශ කර ඇත.

සාක්ෂරතාවය , සංඛ්‍යා පිළිබඳ දැනුම සහ සමාජීය ආර්ථික කුසලතා පිළිබඳ මූලික දැනුම ළමුන් විසින්ම ගොඩ නගා ගන්නා බවත් එය රටේ අනාගතය හැඩගස්වන වේදිකාවක් වන බවත් ක්‍රිස්ටියන් ස්කූග් මහතා පෙන්වා දී තිබේ.එසේම ආර්ථික අර්බුදය හේතුවෙන් ඉගෙනීම මඟ හැරුණු සහ අධ්‍යාපනය පසුගාමී වූ ළමුන් වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යංශය ගන්නා හදිසි ක්‍රියාමාර්ග ප්‍රශංසනීය බවද ස්කූග් මහතා ප්‍රකාශ කර ඇත.

ආර්ථිකය යථා තත්ත්වය පත් කරගැනීමේ මාර්ගයේ ගමන් කිරීම ශ්‍රී ලංකාව ආරම්භ කර තිබුණත් තවමත් පොත් සහ ලිපි ද්‍රව්‍ය ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ වල මිල ගණන් ඉහළ මට්ටමක පවතින බැවින් ආර්ථික අපහසුතා තිබෙන පවුල්වලට ළමුන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් මුදල් වෙන් කිරීම අසීරු කරුණක් වී ඇතැයි එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල පෙන්වා දී තිබේ.

Share This