බස් රථ අනතුරකින් 12 දෙනෙකුට දිවි අහිමි වෙයි

බස් රථ අනතුරකින් 12 දෙනෙකුට දිවි අහිමි වෙයි

නේපාලයේ ගංගාවකට මගී බස් රථයක් පෙරළීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයන් 12දෙනෙකු මියගොස් තවත් 24 දෙනෙකු තුවාල ලබා තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, පසුගිය 12 වැනි සිකුරාදා රාත්‍රී 11:30ට පමණ නේපල්ගුන්ජ් සිට කත්මණ්ඩු බලා ධාවනය වෙමින් තිබූ බස් රථය, බහලුබෙං හි රාප්ටි පාලමෙන් ඉවතට පැන ගඟට වැටී ඇති බවයි.

ප්‍රතිකාර ලබමින් සිටියදී මගීන් පස්දෙනෙකු මියගිය අතර තවත් හත්දෙනෙකුගේ සිරුරු අනතුර සිදුවූ ස්ථානයෙන් සොයා ගෙන තිබුණි.

අනතුරින් මියගිය අය අතර ඉන්දීය ජාතිකයන් දෙදෙනෙකු ද වේ. මියගිය තවත් තිදෙනෙකුගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැත.

අනතුර සිදුවන අවස්ථාවේ රියැදුරු ඇතුළු 37 දෙනෙකු බස් රථයේ ගමන් කරමින් සිට තිබේ.

තුවාල ලැබූවන්ගෙන් 14 දෙනෙකු ප්‍රතිකාර සඳහා කොහාල්පූර් හි නේපල්ගුන්ජ් වෛද්‍ය ශික්ෂණ රෝහල වෙත ඇතුලත් කෙරුණි.

ඉන්දීය ජාතිකයින් දෙදෙනෙකු ඇතුළු තවත් හය දෙනෙකු කොහාල්පූර්හි පිහිටි රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.

බස් රථයේ අධික වේගය හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය ප්‍රකාශ කළ අතර 28 හැවිරිදි බස් රථ රියැදුරු පරීක්ෂණ සඳහා අත්අඩංගුවට ගෙන තිබේ.

Share This