කැබිනට් තීරණ අභියෝගයට ලක් කරන අයට එරෙහිව නිසි ක්‍රියාමාර්ග

කැබිනට් තීරණ අභියෝගයට ලක් කරන අයට එරෙහිව නිසි ක්‍රියාමාර්ග

ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශිකයන් රටට ඇතුළුවීමේදි (on Arrival) ක්‍රමය යටතේ වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය වී.එෆ්.එස් ග්ලෝබල් සමාගම වෙත ලබාදුන්නේ කැබිනට් අනුමැතිය සහිතව බවට රජය අවධාරණය කරයි.

2023 සැප්තැම්බර් 11 දින රටට ඇතුළුවීමේදි වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය පිළිගත හැකි බාහිර ආයතනයක් වෙත දීම වෙනුවෙන් මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් විසින් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව, ප්‍රසම්පාදන ක්‍රමවේදය යටතේ බාහිර පාර්ශවයන් වෙතින් අයදුම්පත් කැදවීමේදි ලැබුණු ආයදුම්පත් දෙකකින් වඩාත්ම සුදුසුකම් පෙන්නුම් කළ මෙම සමාගම වෙත, විදේශිකයන් රටට ඇතුළු වීමේ දි විසා නිකුත් කිරීම හා මාර්ගගත ක්‍රමය ඔස්සේ විසා අයදුම් කිරීමේ කටයුතු සඳහා පහසුකම් සැපයීමේ ක්‍රියාවලිය පැවරීමට මහජන ආරක්ෂක අමාත්‍යාංශය පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ සමාගම නව තාක්ෂණය භාවිතා කරන මෙම ක්ෂේත්‍රයේ ප්‍රමුඛයකු බැවින් මෙම කටයුතු ඔවුන් වෙත පැවරූ බවද සඳහන්.

රටවල් 151ක විසා නිකුත් කිරීමේ මධ්‍යස්ථාන 3388ක සේවා සපයන ආයතනයක් ලෙස මොවුන් ලෝක ප්‍රකට සමාගමක් වේ.

නමුත් පසුගිය දිනක ඔවුන්ගේ වීසා නිකුත් කිරීම ක්‍රියාවලියේ යම් ගැටළුවක් ඇතිවීම ගැන සොයා බැලීමට රජය තීරණය කර ඇති නමුත් කැබිනට් අනුමැතියකින් තොරව මෙම ක්‍රියාවලිය බාරදුන්නාය කියන කාරණය අසත්‍ය කාරණයක් වන බවයි, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කල නිවේදනයේ සඳහන් වන්නේ.

ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශිකයන්ට විසා නිකුත් කිරීමේ කටයුතු සම්පූර්ණයෙන්ම විදේශීය සමාගමකට පවරා ඇතැයි පළවන වාර්තාවල පදනමක් නොමැති බවද එහි සඳහන්.

විසා නිකුත් කිරීමේ කටයුතු වෙනුවෙන් අවශ්‍ය පහසුකම් සැපයිමේ කටයුතු පමණක් මෙම සමාගම වෙත පවරාැති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව, එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, ඉහත අමාත්‍ය මණ්ඩල තීරණය අභියෝගයට ලක් කරමින් ප්‍රකාශ නිකුත් කරන හා ක්‍රියා කරන නිලධාරීන් සම්බන්ධයෙන් නිසි පියවර ගැනීමට ද රජය කටයුතු කරමින් සිටින බවයි.