සනත් නිශාන්තට වඩා හොඳ වුණත් පාර්ලිමේන්තු නො ආ යුතු තෙවරප්පෙරුම ලා
පාලිත තෙවරප්පෙරුම හදිසියේ මිය ගියේය.
ක්ෂණයකින් ඒ ආරංචිය රට පුරා පැතිර ගියාක් මෙන්ම මේ රහස් කවුළුවටද ආරංචි විය.
සෝෂල් මීඩියා පැත්තේ එහා මෙහා සැරිසරද්දී දකින්නට ලැබුණේ හිතුවාට වඩා සංවේගයක් සහ කම්පනයක් තෙවරප්පෙරුමගේ මරණය නිසා ‘ඩිජිටල් පරම්පරාවට’ දැනී ඇති බවයි.
තෙවරප්පෙරුම සෝෂල් මීඩියා චරිතයක් නොවීමත්, ක්‍රියාකාරී දේශපාලනයෙන් ඉවත්ව සිටීමත් නිසා ඒ තරමින් ඔහුගේ මරණය වයිරල් වීම සහ ඒ ගැන සංවේගයක් පෙනෙන්නට තිබීම විශේෂ වෙයි.
ඒ එක්කම මට මතක් වුණේ මීට ටික දවසකට කලින් සනත් නිශාන්ත මියගිය වෙලේ ඔය ඩිජිටල් පරම්පරාව ඔහුට දැක්වූ ප්රතිචාරයයි.
ලංකාවේ මෑත ඉතිහාසය තුළ යමෙකු මියගිය අවස්ථාවක් සතුටින් සැමරූ අවස්ථාවක් වී නම් ඒ සනත් නිශාන්ත මියගිය වෙලාවේය.
ඒ ඔහු තරුණ පරම්පරාව නොහොත් ඩිජිටල් පරම්පරාව තුළ වැපිරූ දෙයෙහි අස්වැන්නයි.
එහෙත් තෙවරප්පෙරුම එහි හාත්පසින්ම වෙනස් අනෙක් පැත්තේ අස්වැන්න නෙළාගන්නේ ඔහු ඩිජිටල් තලයක කිසිවක් ආයාසයෙන් නොවැපිරූ පසුබිමකය.
මේ තත්ත්වයන් දේශපාලනිකව කියවාගැනීම වැදගත් වන්නේ එහෙයිනි.
කොහොමත් සනත් නිශාන්තත් පාලිත තෙවරප්පෙරුමත් දෙන්නාම ගැලරියට කතා කළ, ගැලරිය පිනවූ, ගැලරිය එක්කම ජීවත් වූ දෙදෙනෙකි.
එකම වෙනස වූයේ ඔවුන් එය සිදු කළ ආකාරයයි.
සනත් නිශාන්ත ලක්ෂ විසිගණනක නාමල් රාජපක්ෂගේ විදුලි බිලක් ගෙවා ගැලරිය පිනවද්දී චූන් වූයේ පොහොට්ටුවේ බයි කුලකයේ පිරිසකි.
ඒ සමගම ඔහු අනික් පැත්තෙන් සැලකිය යුතු මට්ටමේ ‘හේටර්ස්ලා’ පිරිසක්ද හදාගත්තේ ය.
හැබැයි තෙවරප්පෙරුම එහෙම කළේ නැත.
ඔහු ඒ වෙනුවට සාමාන්‍ය මිනිසුන්ගේ දුකට පිහිට වුණේය.
සිය පෞද්ගලික මුදල් වියදම් කරමින් ගංවතුරේදී, කෝවිඩ් වසංගතයේදී මෙන්ම විවිධ අවස්ථාවලදී ජනතාවට කන්න බොන්න සපයා දුන්නේය.
ඒ නිසා ඔහු පක්ෂ විපක්ෂ, ජාති භේදයකින් තොරව මිනිස්සු හම්බ කළේය.
හැබැයි තෙවරප්පෙරුම කොච්චර මිනිස්සු හම්බ කළද, සනත් නිශාන්ත ඊට වඩා සෑහෙන්න ඡන්ද හම්බ කළේය.
වාසනාවකට හෝ අවාසනාවකට තෙවරප්පෙරුම ඒ උපාය දැන නොසිටියේය.
එක්කෝ දැන සිටියද එය පාවිච්චි නොකළේය.
කොහොම වුණත් මහපොළොවේ ඔහු කොච්චර මිනිස්සු හම්බ කළේද යන්න ඊයේ ඔහුගේ මරණය ආරංචි වූ විගස ඔහු ඇතුළත් කළ රෝහලට පැමිණි ජනතාවගෙන් ඔප්පු විය.
කොහොම වුණත් මේ ලිපියේ අරමුණ තෙවරප්පෙරුම ‘ෂෝක් කීම හෝ ඔහුට නිවන් සුව පැතීම’ නොවේ.
ඒ වෙනුවට යම් තරමකින් ඔහු දේශපාලනිකව කියවාගැනීමටය.
තෙවරප්පෙරුම සෑහෙන මට්ටමක සමාජ සේවයක් සිදු කළ බව සැබෑ ය.
එහෙත් ජාතික මට්ටමේ දේශපාලනඥයෙකු වීම සඳහා එයම ප්‍රමාණවත් යැයි සිතූ තැන ඔහුටද, ඡන්දදායකයන්ට ද වැරදිණ.
තෙවරප්පෙරුමට අවශ්‍ය වූයේ මිනිසුන් සමග ගැටෙමින්, ඔවුන් වෙනුවෙන් සමාජ සේවය කරන්නට නම් ඔහුට තෝරාගැනීම් දෙකක් තිබිණි.
ඒ එක්කෝ සිය දේශපාලන ජීවිතය ප්‍රාදේශිය සභාවට හෝ අඩුම තරමේ පළාත් සභාවට සීමා කරගැනීමය.
නැත්නම්, ඔහු මියගිය දිනයේම ජීවිතය හැරගිය ආචාර්ය ඒ.ටී. ආරියරත්නගේ මඟ ගැනීම ය.
ඒත් ඔහු සිදු කළේ ඒ දෙකම නොවේ. පාර්ලිමේන්තු ඒම ය.
එතනින් එහා ඔහුද අනාථ විය.
ඔහු පාර්ලිමේන්තුවට පැමිණීමෙන් සිදු විය යුතු රාජකාරි ටික ද අනාථ විය.
හැබැයි එක අතකට සනත් නිශාන්තලා, ප්‍රසන්න රණවීරලා, මර්වින් සිල්වලා සිටි පාර්ලිමේන්තුවේ තෙවරප්පෙරුමලා දාහෙන් සම්පතක් යැයි ද කෙනෙකුට තර්ක කළ හැකිය.
ඒ නිසා තෙවරප්පෙරුමටම වැරැද්ද කියන්නටද අපට බැරිය.
මේ පිටිපස්සේ අපි ලිහාගෙන කියවාගත යුතු කාරණාවක් තිබේ.
අපේ රටේ මිනිස්සුන්ට දීර්ඝකාලයක සිට කාගෙන් හෝ යැපෙන්නට අවශ්‍යය.
රාජාණ්ඩු පාලන ක්රමයක සිට විකාශය වෙමින් සිටින නිසාම දෝ ඒ ගතියෙන් මිදෙන්නට අපේ මිනිසුන්ට බැරි ය.
ඒ නිසා ක්‍රිකට් මැච් එකක ලකුණු 100ක් ගහන පිතිකරුවා හැමදාම මැච් දිනවා දිය යුතුය.
කඩුලු පහක් ලබාගන්නා පන්දු යවන්නා හැමදාම විකට් ලබාගත යුතු ය.
ඒ පරිද්දෙන්ම මන්ත්‍රීලා ඇමතිලා අපේ සුබසාධන වැඩ ටික කර දිය යුතුය.
ප්‍රාදේශිය සභාවේ සභාපති ගමට වැඩක් දෙකක් කළ පසු ඒ මිනිහා කැමති වුණත් අකමැති වුණත් ඌ පාර්ලිමේන්තු යා යුතුමය.
තමන් බෑ කිව්වත් ගමේ, ආසනයේ ජනතාව ඒ මිනිහාව බලෙන් හෝ පාර්ලිමේන්තු අරිනවාය.
ඒ යන මන්ත්‍රී මුදල් හා ක්‍රමසම්පාදන සහ නීතී සැකසීමේ කාර්යයන් නම් නොකළත් කමක් නැත, තෙල් ටික පෝර ටික නොමිලේ ලබා දී, බඩු මල්ලක් ටකරන් ටිකක් බෙදා, රස්සාවකුත් දෙනවා නම් ඒ හොඳටම ඇති ය.
ඒවා කරන දේශපාලනඥයෙකුට අපේ රටේ දී කිසිදු සැකයකින් තොරව අවුරුදු 25ක්වත් මන්ත්‍රී ධුරයක එක දිගට රැඳෙන්නට හැකිය.
ඒ නිසා සනත් නිශාන්තලාට වඩා නම් තෙවරප්පෙරුමලා හැදෙන එක සෑහෙන්න හොඳ ය.
හැබැයි පාර්ලිමේන්තුවට එනවා නම් ඒ තෙවරප්පෙරුමලා තව ටිකක් මෝරලා එන්නට අවශ්‍යය.
මන්ද යත් පාර්ලිමේන්තුව යනු සමාජ සේවා දෙපාර්තමේන්තුව නොවන නිසා සහ ජාතික දේශපාලනය යනු සුභසාධනය පමණක්ම නොවන නිසා ය.
– කොත්මලේ රංග –