යුද හමුදාපතිට අපහාස කිරීම වලක්වාලමින් ආඥාවක්

යුද හමුදාපතිට අපහාස කිරීම වලක්වාලමින් ආඥාවක්

යුද හමුදාපතිවරයා සම්බන්ධයෙන් අසත්‍ය හා අපහාසාත්මක වීඩියෝ හා ප්‍රකාශ බෙදා හැරීම වළක්වාලමින් සමාජ ජාලා මාධ්‍ය ක්‍රියාකාරිකයකුට හා යු ටියුබ් නාලිකාවට එරෙහිව තහනම් ආඥාවක් නිකුත් කර තිබේ.

යුද හමුදාපතිවරයා සම්බන්ධයෙන් අසත්‍ය ,ද්වේශ සහගත හා අපහාසාත්මක හා අපකීර්තිමත් වීඩියෝ හා ප්‍රකාශ නිර්මාණයකර සමාජ මාධ්‍ය මගින් මුදා හැරීමේ චෝදනා මත මාර්ගස්ථ ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනතේ 24 වන වගන්තිය ප්‍රකාරව (සමාජ මාධ්‍ය පනත යටතේ) මෙම පැමිණිල්ල ගොනුකර ඇත .

ඒ අනුව, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අදාළ සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයාට සහ යු ටියුබ් නාලිකාවට එරෙහිව අද (15) කොන්දේසි සහිත තහනම් ආඥාවක් නිකුත් කළා.

දැනට උඩුගත කර ඇති අපහාසාත්මක හා ද්වේශ සහගත තහනම් ප්‍රකාශ වහාම ඉවත් කරගන්නා ලෙසටද එහිදී මහේස්ත්‍රාත්වරයා විත්තිකරුවන්ට නියෝග කර තිබෙනවා.

මෙම නියෝග නිකුත් කළේ යුධ හමුදාපති ලුතිනල් ජෙනරාල් විකුම් ලියනගේ මහතා පැවරු නඩුවක් සලකා බැලීමෙන් අනතුරුවයි.

එමෙන්ම, ලංකා වී නිවුස් වෙබ් අඩවියට සහ තුෂාර සාලිය රණවක ඇතුළු තිදෙනකුට මෙම ආඥාව නිකුත් කළ අතර ඇමරිකාවේ යුටියුබ් ආයතනය සහ ගූගල් සමාගමට අදාල නියෝග සම්බන්ධයෙන් නොතීසි නිකුත් කිරීමටද මෙහිදී නියෝග කළා.

මෙහිදී, එම්. මොහොමඩ් ෆර්ෂාන් මහතා මඟින් ඉදිරිපත් කළ පැමිණිල්ල වෙනුවෙන් කරුණු දැක්වූ නීතිඥ සිරාෂ් නූර්දීන් මහතා අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ මෙම අපහාසාත්මක හා අපකීර්තිමත් ප්‍රකාශ ජාතික ආරක්ෂාවට ද තර්ජනයක් වන බවයි.