දකුණු ආසියාවේ අලුත්ම නීති ක්‍රියාත්මක වන රට ශ්‍රී ලංකාවයි

දකුණු ආසියාවේ අලුත්ම නීති ක්‍රියාත්මක වන රට ශ්‍රී ලංකාවයි

රජය විසින් පසුගිය දෙවසරක කාලය තුළ පමණක් නව නීති 75ක් සම්මත කර ගැනීමට කටයුතු කළ බවත්, ඒ අනුව දකුණු ආසියාවේ අලුත්ම නීති ක්‍රියාත්මක වන රට බවට ශ්‍රී ලංකාව පත්ව ඇති බවත් පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව නීති පද්ධතියක් සමඟ නව දේශපාලන සංස්කෘතියක් රට තුළ ගොඩනඟන බව ද අවධාරණය කළේය.

ආණ්ඩුව හොරු ආරක්ෂා කරන බවට ඇතැමුන් චෝදනා නැගුවද වත්මන් ආණ්ඩුව හොරු අල්ලන නීති ගෙනවිත් තිබෙන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා දුෂණ විරෝධය දේශපාලන සටන් පාඨයක් කර ගත් යුගය ඒ සමඟ නිමා වන බවද සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ තෙල්දෙණිය නව අධිකරණ සංකීරණය විවෘත කිරීමේ අවස්ථාවට අද (15) පෙරවරුවේ එක් වෙමිනි.

රටක ස්ථාවරත්වය රැඳී පවතින්නේ නීතිය ක්‍රියාත්මක වීම මත බව පෙන්වා දුන් ජනාධිපතිවරයා රටක් ලෙස ජාත්‍යන්තර පිළිගැනීමක් හිමි වන්නේ ද නීති පද්ධතියේ ක්‍රියාකාරිත්වය තුළ බව ද කියා සිටියේය.

තෙල්දෙණිය නගරයේ තිබූ පැරණි තෙල්දෙණිය මහේස්ත්‍රාත් අධිකරණය කඩිනම් මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ඉදිකළ වික්ටෝරියා ජලාශයට යට විය. අනතුරව තෙල්දෙණිය කරලියද්ද නව නගරයේ ඉදිකළ තෙල්දෙණිය අධිකරණ ගොඩනැඟිල්ල ද මීට කලකට පෙර පූර්ණ සංවර්ධනයකට ලක් කිරීම සඳහා කඩා ඉවත් කෙරිණි. මෙම ස්ථානයේම අධිකරණ අමාත්‍යාංශය විසින් මෙම නව අධිකරණ සංකිර්ණය ඉදිකර තිබේ.

තෙමහල් ගොඩනැඟිල්ලකින් සමන්විත මෙම තෙල්දෙණිය අධිකරණ සංකීර්ණය මහේස්ත්‍රාත් හා දිසා අධිකරණ මෙන්ම තවත් පහසුකම්වලින් යුක්ත වන අතර එමඟින් තෙල්දෙණිය, රංගල, උඩුදුම්බර, පල්ලේකැලේ, මැණික්හින්න, වත්තේගම හා පන්විල යන පොලිස් ස්ථානවල නඩු කටයුතු ආවරණ කරයි.

තෙල්දෙණිය අධිකරණය තෙල්දෙණිය නගරයේ තෙල්දෙණිය සමුපකාර බිමෙහි ගොඩනැඟිලි සංකීර්ණයක මෙතෙක් තාවකාලීකව පවත්වාගෙන ගිය අතර එම ස්ථානයේ පහසුකම් අවම වීමෙන් නඩු කටයුතු සඳහා පැමිණි මහජනතාවට දැඩි දුෂ්කරතාවකට මුහුණදීමට සිදු විය.

සමරු ඵලකය නිරාවරණය කර නව අධිකරණ සංකීර්ණය විවෘත කළ ජනාධිපතිවරයා එහි නිරීක්ෂණ චාරිකාවක ද නිරත විය.