සන්ධාන මහලේකම් ධූරය අනුරට ?

සන්ධාන මහලේකම් ධූරය අනුරට ?

එක්සත් ජනතා නිදහස් සන්ධානය යනු මෙරට ඉතිහාසය තුල කීපවරක්ම ආණ්ඩු පිහිට වූ සහ ජනාධිපතිවරුන් බිහි කිරීමට මුල් වූවකි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මුල් කරගනිමින් පක්ෂ රැසක් හවුල්කාරීත්වය දරමින් ලාංකීය මැතිවරණ ව්‍යාපාර තුල පෙරළි රැසක් සිදුකල එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ බුලත් කොලය ලකුණ ලංකාවේ මහජනයාට හොඳින් මතකයේ ඇත්තකි.

පොහොට්ටුවේ බිහිවීමත් සමඟ යටගිය එම සන්ධානය දැන් නැවත එලඹෙන ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් කල එලි බසින්නට සූදානම් බව අප වෙත වාර්ථාවේ.

ඒ එහි ඇතැම් තනතුරු වලද වෙනස්කම් සමඟිනි.

කලක් එහි මහලේකම් ධූරය දැරූ මහින්ද අමරවීර සහ තිලංග සුමතිපාල යන අයගේ එකඟත්වය මත මෙවර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් ධූරය අනුර ප්‍රියදර්ශන යාපා මහතාට හිමි වීමට නියමිත බවත් ආරංචි මාර්ග සඳහන් කරයි.

එළැඹෙන මැතිවරණය ඉලක්ක කරගෙන සිදු කෙරෙන ප්‍රතිසංවිධාන කටයුතුවලට අනුව මේ තීරණය ගැනීමට නියමිත බව සඳහන් වෙයි.

නිමල් ලාන්සා මන්‍ත්‍රීවරයා ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත්ව ගිය කණ්ඩායම පිහිටුවූ සන්ධානයේ නායකයා ලෙසද අනුර ප්‍රියදර්ශන මහතා කටයුතු කරයි.

එළඹෙන මැතිවරණය සඳහා මෙම කණ්ඩායම එක්සත් ජනතා නිදහස් සන්ධානය සමග එක්ව කටයුතු කරනු ඇතැයිද කියවෙයි.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය මෙම නව සන්ධානය ගොඩනැගීමේ මැදිහත්කාර පාර්ශ්වයක් ලෙස කටවුතු කරන අතර, ඇයට මේ වනවිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වගකිවයුතු සහ බලතල සහිත තනතුරක් නිර්මාණය වී වී ඇති බවද තතු දත්තෝ පවසති.

චන්ද්‍රිකා – මෛත්‍රී විරසක කෙලවර වෙමින් ඔවුන් කලකට පසු එකට එක්ව බණ්ඩාරනායක සැමරුමකට සහභාගී වී සිටීමද සුවිශේෂීය.

මෙම නව සන්ධානය ඇතුළු කණ්ඩායම ඉදිරි මාර්තු මාසයේ මුල් සතිය වනවිට තමන් ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් ඉදිරිපත් කරන පොදු අපේක්ෂකයා පිළිබඳ රටට හෙළිදරව් කරන බවද සඳහන් වෙයි.

අදාළ අපේක්ෂකයා දැනට තරග කිරීමට නියමිත සියලුම අපේක්ෂකයන් ඉක්මවිය හැකි දේශපාලන දැක්මක් හා ආර්ථික සැලැස්මක් සහිත පුද්ගලයෙකු වීමට ඉඩ ඇති බවත්, ඊට අදාළ මූලික සාකච්ඡා මේ වනවිට සිදු කර අවසන් බවත් එම පාර්ශ්වයේ ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කරයි.

 

Share This