චම්පිකට ජනාධිපතිවරණය අකැප ද?

චම්පිකට ජනාධිපතිවරණය අකැප ද?

මේ එළඹී ඇත්තේ මැතිවරණ වසරක් බව අප මීට කලිනුත් කියා තිබේ. අප ඒ කී කතාව සැබෑවක් බවට දැන් දැන් ඉඟි පළවෙමින් තිබීම අපේ අදහස නැවත නැවත ස්ථිර කරවයි.

මේ වසරේ ජනාධිපතිවරණයක් පැවැත්වෙන ලකුණු මේ රහස් කවුළුවට පෙනෙන හෙයින් ඒ ගැන විමසිල්ලෙන් බලා සිටීම තවත් විනෝදජනක වැඩකි. මේ එහෙම බලාගෙන ඉන්නකොට හිතෙන ඒවාය.

මේ වතාවේ කිසිදු අපේක්ෂකයෙකුට පළමු මනාපයෙන් 50% ලබාගැනීමට හැකිවනු ඇතැයි අපට පෙනෙන්නේ නැත. ඒ වෙනුවට ඉතිහාසයේ පළමු වතාවට දෙවැනි මනාපයක් ගණන් කරන්නට සිදුවනු ඇතැයි අනුමාන කළ හැකිය. එනයින් මෙවර ජනාධිපතිවරණය විශේෂ ය.

ඔය හේතුව නිසාම මේ වතාවේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ඕනෑම අයෙකු ඉදිරියේ බරපතළ අභියෝගයක් තිබේ. ඒ 50% ලබාගැනීම නොව, ඊට ආසන්න ලොකු කුට්ටියක් කඩාගැනීමේ අභියෝගයයි. ඒ වෙනුවෙන් සන්ධාන මත යැපෙනවා හැර කිසිවෙකුට වෙනත් විකල්ප නොමැති බව අපට පෙනෙන්නට ඇති තිත්ත යථාර්ථයයි. එය කළින්ම තේරුම්ගෙන ඇති ‘ඇඩ්වාන්ස් පොලිටික්ස්’ දන්නා දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් දැන් දැන්ම සන්ධාන ගැන උනන්දු වන ආකාරයද අහුමුළුවල කතාබහ වෙනු ඇසෙයි.

ඒ අනුව, නිමල් ලන්සා ඇතුළු පාර්ශ්වය පසුගියදා සන්ධානයක් බිහි කළේය. ඒ අස්සේ විමල්ලාගේ පිල තවත් සාකච්ඡා වට වලය. සමගි ජන බලවේගය මේ රේස් එකේ සැරටම දුවන කණ්ඩායමය. දැන් පොහොට්ටුවේ අශ්වයන් දුවන්නේද සජබ ට්‍රැක් එකේය. ඊයේ හිටපු හමුදාපති දයා රත්නායකද සජබය ට ගියේය. ඒක එක අතකට දෛවෝපගත සිද්ධියකි. පට්ට පතුරු ගැසූ ෆොන්සේකා ඉන්නා තැනක දයා රත්නායක රෙද්දක් ඇඳගෙන ඉන්නේ කෙසේදැයි අපි මේ කවුළුවෙන් එබී බලන් ඉන්නවා ය. අනිත් අතට ඉතිං දයාත් ආපු එකේ හෙට අනිද්දාට ගෝඨාභය රාජපක්ෂටද සමගි ජනබලවේගයට යා හැකි ය. ඔය අව්වස්සේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ දැරූ තනතුරු වලින් තිලංග සුමතිපාලත්, මහින්ද අමරවීරත් ඉල්ලා අස්වෙලාලු ය.

මේ වෙලාවේ සන්ධාන නැතිව කැම්පේන් කරන්නේ ජාතික ජනබලවේගය පමණි. එහෙත් ඔවුන්ටද 50% තබා තවමත් 25% සීමාව පනින්නට තරම්වත් ජනබලයක් නොමැති බවට අපට පෙනේ. ඒ අයද දේශපාලන පක්ෂ සමග සන්ධාන නැතත්, විවිධ වෘත්තිකයන්, කලාකරුවන්, පුද්ගල කණ්ඩායම් සමග සන්ධානගත වනු පසුගිය කාලයේම දකින්නට ලැබිණි.

අනිත් පැත්තේ රනිල් වෙනුවෙන්ද සන්ධානයක් හැදෙමින් තිබේ. එය එළියට පේන තරමට සංවිධානාත්මක නැතත්, තිරෙන් පිටුපස දැනටත් සෑහෙන තරමේ මිෂන් එකක් යන බව කුරුල්ලෙක් මේ කවුළුව ළඟින් යන ගමන් කියාගෙන ගියේය. එක්සත් ජාතික පක්ෂය, කුඩා දේශපාලන පක්ෂ හා කණ්ඩායම් කිහිපයක් සහ පොහොට්ටුවේ සැලකිය යුතු කණ්ඩායමක්ද එතැන සිටින බව ඒ කුරුල්ලා යන ගමන් කියා ගියේය.

මේ සියලු කතා එක දිගට මතක් වූයේ අද උදෑසන මේ රහස් කවුළුවට පල්ලෙහායින් අලවා ගොස් තිබූ කැලෑ පත්තරයක කොටසක් දැකීම නිසාය. එහි තිබුණේ “මාලිමාව ප්‍රමුඛ ප්‍රගතිශීලී කඳවුරට මුහුණදීමට නම් සේදවත්තේ රනිල්ලා, කෙහෙල්වත්තේ සජිත්ලා, මැදමුලනවත්තේ රාජපක්ෂලා මඳකට පසුබා ඔක්කොම එක්ව ‘පොදු අපේක්ෂකයෙක්’ ගෙන ආ යුතු බවයි. එහි මෙසේද සඳහන් වෙයි.

“මේ කියන්නේ මාලිමාව ප්‍රමුඛ ප්‍රගතිශීලී කඳවුරට මුහුණදීමට නම් සේදවත්තේ රනිල්ලා කෙහෙල්වත්තේ සජිත්ලා මැදමුලනවත්තේ රාජපක්ෂලා මදකට පසුබා ඔක්කොම එක්ව ‘පොදු අපේක්ෂකයෙක්’ ගෙන ඇවිත් ගරා වැටෙමින් පවතින අවුරුදු 191ක් පරණ මජර ක්‍රමය රැකගමු කියාය. එසේ කියන්නේ ලංකාවේ ප්‍රතිගාමී කඳවුරට අම්මට සිරිවෙන ලකුණු පහල වී ඇති නිසාය. සගවලා ගහන “පොදු අපේක්ෂකයා” වෙන කිසිවෙක් නොව තලකොටුව වත්තේ උස කෙට්ටු හාදයාය. සමීකරණය නියමෙට ගැළපේ. ගතානුගතික, ජාතිවාදී ලුම්පන් මජර ක්‍රමයක් ආරක්ෂා කර ගැනීමට නම් ප්‍රගතිශීලී කඳවුරට එරෙහි සටනට අනිවාර්යයෙන්ම ප්‍රතිගාමී ගතානුගතික ජාතිවාදියෙක් කැන්දන් ආ යුතුය. ඒ වැඩේට තලකොටුව වත්තේ උස කෙට්ටු හාදයා ඕනවාටත් වඩා හොඳට ගැළපෙන්නේය. රාජපක්ෂලා රජවරුන්ට ඇන්ද වූ මේ හාදයාගේ සිඟිති සිහිනය මිහිපිට යථාර්ථයක් නොවූවත් මේ උත්සාහය ආතල්‍ එකක් ගන්න නම් මරුය.”

ඉහත කතාව අනුව ජනාධිපතිවරණ සටනට තවත් මුහුණක් එකතු වෙන ලකුණු පෙනේ. ඒ තලකොටුවේ උස කෙට්ටු හාදයා ය. මේ නමින් හඳුන්වන්නේ පාඨලී චම්පික රණවක විය යුතුය. ඔහු උසය, කෙට්ටුය. ඔහුගේ කාර්යාලය පිහිටා ඇත්තේ තලකොටුව පාරේය. ඒ නිසා ඒ අනුමානයේ පිහිටමු.

මේ කැලෑ පත්තරය බැපූ බැල්මටම වාමවාදී ඌරුවකින් ගැසූවක් බව පෙනේ. ‘ගතානුගතික, ජාතිවාදී, ලුම්පන්, මජර ක්‍රමයක්’ වැනි වචන වමට පේටන්ට් හිමි ඒවා ය. ඒ කියන්නේ හේතුවක් ඇතිව හෝ නැතිව වමට රිදිලාය. මේ වෙලාවේ වමෙන් ජනාධිපතිවරණය ගැන බලාපොරොත්තු දල්වාගෙන සිටින්නේ ජාතික ජනබලවේගය පමණි. ඒ නිසා මේ කැලෑ පත්තරය ඔවුන්ගේ යැයි අපේක්ෂා කළ හැකිය. එහෙම නම් එහි අමුත්තක්ද හෝ පුදුම වන්නට දෙයක් නැත. හැබැයි මේක ඔවුන්ගේ වැඩක් නම්, ඔය ඡේදයේ අවසන් වාක්‍යය ඔවුන් කිවයුත්තේ කණ්ණාඩියක් ඉදිරිපිට සිටගෙනය. රාජපක්ෂලා රජවරුන්ට ඇන්ද වූ හොඳම සට්ටැඹිරාළ ලා ජවිපෙ ය. මහින්ද බලයට ගේන්නට කැන්වසිං කළේ, කැම්පේන් කළේ, වෙනකක් තබා ස්ටේජ් උඩ උගුර ලේ රහ වනතුරු කෑ ගැසුවේද, වැඩිම දරදිය ඇද්දේ ද ජනතා විමුක්ති පෙරමුණේ සහෝදරයන් ය. එවැනි පසුබිමක ඇත්තෙන්ම ජවිපෙ කළ යුත්තේ චම්පික කෝනර් කිරීම නොවේ. මන්ද චම්පිකත්, ජවිපෙත් ඒ කාරණයේදී සිටින්නේ එකම තරාදියක දෙපැත්තේ නිසා ය. අනික් අතට චම්පික ජනාධිපතිවරණයට එනවා නම් ජවිපෙ කළ යුත්තේ ඔහුට මඩ ගැසීම නොව තම පැරණි සහෝදරයාට සුබ පැතීම ය.

මේ කැලෑ පත්තරය පසෙක තබා විමසා බලමු. චම්පිකට ජනාධිපතිවරණයකට ඉල්ලන්නට උවමනාවක් ඇත්දැයි, නැත්දැයි දන්නේ ඔහුම පමණි. එහෙත් මේ කටකතාව ‘ඇත්තක් නම්’ අප කියන්නේ එය ඉතා වටිනා බව ය.

අනුර, සජිත්, රනිල් අතරට චම්පික එනවා නම් එතැන හොඳ රේස් එකක් දකින්නට හැකිවනු ඇත. අනෙක් අතට චම්පික අමාත්‍ය ධුරවල වැඩ කරන්නට පටන්ගත් දා සිට තමන් ඒ ඒ කාර්යයේ දක්ෂ බව ක්‍රියාවෙන්ම ඔප්පු කොට ඇත. එමෙන්ම අනාගතවාදී, නව්‍යවාදී තැනකින් සිතන පතන දේශපාලනඥයන් හිඟ අපේ ලංකාවේ ඒ අතින් ගව්ගාණක් ඉදිරියෙන්ම සිටින්නාද චම්පික ය. ඉතිං, අනුර කුමාරට යම් සුදුසුකමක් ඇත්නම්, චම්පිකටද ජනාධිපතිවරණයකට ඉල්ලන්නට එතරම්ම සුදුසුකමක් ඇතැයි මැදිහත්ව බලන විට අපට පෙනෙයි.

මේ නෙළුම් කුලුනේ රහස් කවුළුව කොළඹ නගරයේ උසම තැනක පිහිටා ඇති නිසා අපට පහළ සිද්ධ වෙන බොහෝ දේ කලින්ම පෙනෙනවාය. ඒ නිසා ඒවා ගැන නිසි තක්සේරුවකින් යුතුව පුරෝකථනය කරන්නටත්, හරිම තැනින් ඒවා තීක්ෂණව දකින්නටත් අපට හැකිය. ඉතිං ඔය විදිහටම උස මිනිහෙකුටත් සාමාන්‍ය මිනිසුන්ට වඩා වෙනස් හා නිරවද්‍ය තැනකින් ඉදිරිය සහ අනාගතය පේන්නට තිබෙන ඉඩකඩද බොහෝ වැඩිය.

කොත්මලේ රංග

Share This