නිමල්ගේ ඇනිමල් හැසිරීම

නිමල්ගේ ඇනිමල් හැසිරීම

පහුගිය දවස්වල ශ්‍රී ලංකන් ගුවන් ගමන්වාර ප්‍රමාදය ලොකු කතාබහක් ඇති කළේය.

ලංකාවේ ප්‍රධානතම ගුවන් තොටුපළේ එවැනි ප්‍රමාදයක් සිදු වීම ඇත්තෙන්ම විශේෂ අවධානය ලබාදිය යුතු කරුණක් බව සැබෑ ය.

ඒ නිසා සිදු වු බලපෑම සහ හානියද විනාශය. ඇතැම් සංචාරකයෝ ගුවන් තොටේ යකා නැටූහ. සිද්ධිය පාර්ලිමේන්තුව දක්වාම ආවේය.

මේ රහස් කවුළුවට කටුනායක පැත්ත හොඳට පෙනෙයි. ඒ නිසා එහි සිදුවන දේ ද පෙනෙයි.

මාධ්‍ය සාකච්ඡා වල මොන බයිලාව කිව්වද ලදරං සීටීබී බස් වගේ ගුවන් යානා කාර්මික දෝෂයක් නිසා මේ ප්‍රමාදය සිදු වූ බව අපි එදා බලා සිටියෙමු.

අන්තිමේ දසියලු ඇඟිලි දිගු වූයේ ගුවන්තොටුපොළ කාර්යමණ්ඩලය පැත්තට ය . මේක කැතටම කළේ විෂය භාර ඇමති නිමල් සිරිපාල ද සිල්වා ය.

ඔහු ඊයේ මේ සිද්ධිය ගැන විමසන්නට අදාළ නිලධාරින් පිරිසක් අමාත්‍යාංශයට කැඳවා තිබුණේය. නිමල් මේ කැත පාට් එක දැම්මේ එහිදී ය.

රැස්වීම පටන්ගත් මොහොතේ පටන් හතර අතේ නෙළන්නට ගත් නිමල් සිරිපාල අදාළ සිද්ධියේ වගකීම සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකන් නිලධාරීන් පිට පැටෙව්වේය.

ශ්‍රී ලංකන් සභාපති අශෝක් පතිරගේද එහි සිටි අතර, ඔහු හෝ කිසිදු නිලධාරියෙක් ඒ මොහොතේ නිමල්ට විරුද්ධව වචනයක් හෝ කීවේ නැත.

සම්පූර්ණ රැස්වීමේ සිද්ධිය වූ හැටි මේ ලිපියේ ලියන්නට බැරි ය. ඒත් වැදගත්ම ටික ලියන්නට ඕනෑය.

මේ ප්‍රමාදය පිළිබඳ අපකීර්තිමත් සිද්ධිය පිළිබඳ නිලධාරීන්ට දෝෂාරෝපණය කරන නිමල් සිරිපාල එදා නිවාඩු ගත් 15 දෙනෙක් ගෙදර යවන්න යැයි කියයි.

නිමල්ට කරුණු කාරණා තාර්කිකව ඉදිරිපත් කළ නිලධාරියෙකුට පඩි භාගයකට වැඩ කරන්න ලේස්තිදැයි අසයි.

මාස තුනක් නිවාඩු නොගෙන වැඩ කරන්න සූදානම් වන්නැයි තග දමයි. “අපොයි ඒකෙන් මේ ප්‍රශ්න විසඳෙනවා නම් අපි පඩි බාගෙට වැඩ කරන්න ලෑස්තියි” යැයි නිලධාරියා කියයි.

ඒක බලාගෙන ඉන්න අපට ඉල ඇදෙන්නට හිනා යයි.

ඔය අතරේ තවත් නිලධාරියෙක් නිමල් කොර වෙන ප්‍රශ්නයක් අසයි.

ඒ ශ්‍රී ලංකන් මේ තරම් වැටෙන්නට වගකිවයුත්තේ සේවකයන් පමණක්ද යන්නයි.

දත කට මූට්ටු වෙන නිමල් තත්ත්පර කිහිපයක් තටමා “නෑ නෑ අවුරුදු ගණනක පාලනයත්, සේවකයනුත් දෙගොල්ලන්ම ඒකට වගකිවයුතු යැයි කියයි.

හැබැයි එවෙලේ නිමල්ගේ මූණ බලන්නට ආතල් ය.

පාර්ලිමේන්තු කතාවක මැද සනීපෙට නිදාගෙන සිට කථානායක ඕඩර් ඕඩර් ඕඩර් කියා අර මිටියෙන් මේසෙට තට්ටු කරන විට උඩ ගිහින් ඇහැරෙන නිමල් සිරිපාලගේ මුහුණට ඒ පෙනුම සමාන වෙයි.

නිලධාරීහු එතැනින් පසු මීටිම සියතට ගනිති. ඔවුහු දිගටම නිමල්ට එලව එලවා ප්‍රශ්න එල්ල කරන අතර, නිමල් තද ‘ඇනිමල්’ පාට් එකක් දමා එතැනින් මාරු වී යයි.

ඔය මීටිමේ සාරාංශය ඕකය.

කලින් සූදානම්ව සිටි තගක් දමා රැස්වීම තමන්ට රිසි පරිදි මෙහෙයවමින් සිටි නිමල්, නොසිතූ මොහොතක ලද ප්‍රහාරයෙන් අන්දුන් කුන්දුන්ව ඇනිමල් පාට් එක දමා නිලධාරීන්ට අවස්ථාවක් නොදී ම එතැනින් පැන ගියේ ඔහොම ය.

හැබැයි ඒ වැඩේ හොඳය. ශ්‍රී ලංකන් නිලධාරීන්ගේ අතේද වැරදි ඇතත්, ඒ මොහොතේ නිමල්ගේ ඇනිමල් ඩොමිනේෂන් එකට ප්‍රතිචාර දැක්වූ විදිය මරු ය.

හයියෙන් හූවකුත් කිව්වා නම් වැඩේ සම්පුර්ණ ය.

ශ්‍රී ලංකන් ඔය තත්ත්වයට ඇදදැම්මේ නිමල් ලා ය.

නිමල්ම නොවෙතත් නිමල්ලා නියෝජනය කරන කුලකයේ පුද්ගලයන් ය. නිමල්ලා අත උස්සා සපෝට් කළ උන්දැලා ය.

ඉතිං මේ කෙළවීමට තමන් සම්බන්ධ නැතැයි කියා නිමල්ට අත පිහිදාගන්න බැරිය.

අනික දැන් මීට කලකට පෙරත් නිමල් සිවිල් ගුවන් සේවා ඇමතිවරයාව සිටියේය.

ධාවන පථ නවීකරණය කරනවාය කියා මොකක්දෝ කරමින් හිටියා මිස ඔහුගේ කාලය තුළ සිදු වූ බක්කක් නැත.

ඉතිං නිමල්ලා එදත් එහෙමය,අදත් එහෙමය.

කොමිස් කුට්ටි වලට නම් අලුතින් ගුවන් තොටුපොළවල් හදන්නට වුව නොපැකිළව ඉදිරිපත් වෙන නිමල්ලා, මේ වගේ සිදුවීම් ගැන අවධානය යොමු කරන්නේ කොහෙන් හෝ රෙද්ද ලිහෙන්නට පටන්ගත් විට පමණි.

ඒ අර්ථයෙන් ගත්විට නිමල් සිරිපාලලාට මෙහෙම වෙල මදි ය.

මෙතැනදී මහජනතාවද යමක් තේරුම්ගත යුතුව තිබේ.

එනම් අප කලින් කී පරිදිම නිමල්ලා එදත් එහෙමය, අදත් එහෙමය.

ඉතිං හෙට දවසේත් නිමල්ලාට මෙහෙම ඉන්නට දෙනවාද? තවත් නිමල්ලා අලුතින් බිහි කරනවාද යන තීරණය ඔවුන් විසින් ගත යුතුව තිබේ.

රජයේ වියදමින් මුද්‍රණය කොට, තැපැල් ගාස්තු ද ගෙවා ඡන්ද කාඩ්පතක් අතටම ලැබෙන්නට සලස්වා ඇත්තේද ඒ නිසා ය.

කොත්මලේ රංග

Share This