දුම්රිය දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්

දුම්රිය දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්

මගී ජනතාවට බාධාවක් නොවන පරිදි අද (24) දිනයේ දී දුම්රිය ධාවනයට සැලසුම් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

දුම්රිය නියාමකවරයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් දුම්රිය විදුලි කාර්මිකයෙකු අත්අඩංගුවට ගැනීමට විරෝධය පළ කරමින් විදුලි කාර්මිකයින් පිරිසක් ඊයේ (23) පස්වරුවේ හදිසි වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබුණි.

මේ හේතුවෙන් සියලු දුම්රිය මාර්ගවල දුම්රිය ප්‍රමාදයක් ඊයේ රාත්‍රියේ සිදුවූ අතර එහිදී මගීන් දැඩි දුෂ්කරතාවට පත්ව තිබේ.

කෙසේ වෙතත් දුම්රිය බලධාරීන් මැදිහත් වී දුම්රිය ධාවනය යථාතත්ත්වයට පත් කිරීමට කටයුතු කිරීමත් සමග දුම්රිය ධාවනය යළි ආරම්භ කෙරුණි.

මේ අතර අද දිනයේ හැකි උපරිම ආකාරයෙන් දුම්රිය ධාවනය කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

දුම්රිය සාමාන්‍යාධිකාරී ඩබ්ලිව්.ඒ.ඩී.එස්. ගුණසිංහ සඳහන් කළේ දුම්රිය ප්‍රමාදයන් වළක්වාලමින් සියලු දුම්රියන් ධාවනය කිරීමට සැලසුම් කර ඇති බවයි.

මේ අතර මහනුවර ඇසළ පෙරහර වෙනුවෙන් ජනතාවගේ ගමන් පහසුව උදෙසා විශේෂ දුම්රිය 4ක් යොදවා තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

අනිද්දා (26) සිට ලබන 30 වැනි දා දක්වා එම දුම්රිය ධාවනය වන බවයි දුම්රිය ගමනාගමන අධිකාරි එම්.ජේ. ඉඳිපොලගේ මහතා පැවසුවේ.

ඒ අනුව එක් දුම්රියක් කොළඹ කොටුවේ සිට නුවර දක්වා සහ නැවත කොටුව දක්වා ධාවනය වනු ඇති.

පෙරහැර අවසන් වී පිටත් වන ජනතාව සඳහා මහනුවර සිට මාතලේ, මහනුවර සිට නාවලපිටිය සහ නුවර සිට කොළඹ කොටුව දක්වා ද දුම්රිය ධාවනය වන කරවන බවයි ඔහු පැවසුවේ.

Share This