අලවතුගොඩ රූමත් බිරිඳ ඝාතනයට සැමියා අත්අඩංගුවට

අලවතුගොඩ රූමත් බිරිඳ ඝාතනයට සැමියා අත්අඩංගුවට

අලවතුගොඩ, ඇල්ලෙකඩේ ප්‍රදේශයේ පදිංචිව සිටි 26 හැවිරිදි රූමත් විවාහක තරුණ කාන්තාවක මෙයට මාස පහකට පමණ පෙර එනම් පසුගිය මාර්තු මස 10 වනදා අමානුෂික ලෙස ඝාතනය කර වෙල් යායක ඔබා තිබීමේ සිද්ධිය සම්බන්ධයෙන් විවිධ කෝණ ඔස්සේ පරීක්ෂණ සිදු කළ අලවතුගොඩ පොලීසියේ අපරාධ විමර්ශණ අංශයේ නිලධාරින් විසින් ඝාතනයට ලක් වූ තරුණ කාන්තාවගේ සැමියා ඊයේ (22) අත් අඩංගුවට ගනු ලැබ තිබේ.

මෙලෙස ඝාතනයට ලක්ව තිබුණේ ධනුකා මධුවන්ති නැමැති 26 හැවිරිදි රූමත් තරුණ කාන්තාවකි.

මෙම ඝාතනය සම්බන්ධයෙන් ලබා ගත් ඉව ඔස්සේ නිල සුනඛයෙකු ගමන් කළ නිවසක සිටි විවාහක පුද්ගලයෙකු සැක පිට අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණද සිද්ධිය සම්බන්ධයෙන් තව දුරටත් පරීක්ෂණ පැවැත්වූ පොලීසිය මිය ගිය කාන්තාවගේ සැමියා සම්බන්ධයෙන් ඇතිව තිබූ සැකයක් මත දීර්ඝ ලෙස විමර්ෂණ සිදු කරනු ලැබ තිබේ.

මෙලෙස ඝාතනයට ලක්ව තිබූ කාන්තාවගේ සිරුරේ ඇඳුම් ඉවත් කර වෙල මැද මඩ ගොහොරුවක ඔබා තිබූ අතර එම සිරුර දකින කෙනෙකු සිතන්නේ ඇය දූෂණය කොට මරා දමන්නට ඇති බවයි. එසේ වුවත් මේ සම්බන්ධයෙන් කරනු ලැබූ ඩීඑන්ඒ සහ රස පරීක්ෂක වාර්තා අනුව ඇය දූෂණයට ලක්ව නොමැති බව අනාවරණය වී ඇති බව පොලීසිය කියයි.

මෙලෙස ඇගේ ඇඳුම් ඉවත් කරන්නට ඇත්තේ පරීක්ෂණ නොමඟ යවන්නට බවත් පොලිසියේ සැකයට හේතු වි තිබේ. මෙයට අමතරව සිද්ධිය වූ දින අසල වු මළ ගෙයකට ගිය බව කියන මෙම සැකකරු පැයක පමණ කාලයක් අතුරුදහන්ව සිට ඇති බවත්, නිවසේ කුස්සියේ විදුලි බුබුළ නිවරැදි ස්ථානය සොයා නිවා දමා තිබීමත් නිවසේ හදා ගන්නා සුනඛයා කිසිදු බිරීමක් සිදු කර නොතිබීමත් ඝාතනයට ලක්වු කාන්තාවගේ සිරුර නිවෙසේ සිට මීටර් 100 ක් පමණ දුරින් පිහිටි වෙලක මඩ ගොහොරුවක ඔබා තිබිමත් ඇතුළු කාරණා රැසක්ම සැකකරු ගැන සැක කිරීමට හේතු වි තිබේ.

සිද්ධිය වූ දින රාත්‍රියේ නිවසේ සිට මීටර් කිහිපයක දුරින් ඔහු විසින් පවත්වාගෙන යනු ලබන වෙළඳ සැල වසා දමා ත්‍රී රෝද රථයකින් නිවසට ගොස් අති බවද අනාවරණය වි ඇති බවත් පොලීසිය කියයි.

පොලිසියට පැමිණිලි කිරීමට ගිය අවස්ථාවේ සිට මේ දක්වා ඔහුගේ හැසිරීම් රටාවේ නිරීක්ෂණය වු වෙනස්කම් ද ඔහුව සැක කිරීමට හේතු වි තිබේ.

මෙලෙස අත් අඩංගුවට ගෙන ඇති මිය ගිය රූමත් තරුණ කාන්තාවගේ සැමියා වන 27 හැවිරිදි සැකකරු අද 23 වනදා මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව තිබේ.

Share This