තම පෞද්ගලික මුදලින් තරඟ කර ශ්‍රී ලංකාව දිනවන කායවර්ධන ශූරයා

තම පෞද්ගලික මුදලින් තරඟ කර ශ්‍රී ලංකාව දිනවන කායවර්ධන ශූරයා

කුවේට් රාජ්‍යයේ විදේශීය තානාපති කාර්යාලයක සේවය කරමින්, තමාගේ පෞද්ගලික මුදලින් ජාත්‍යන්තර ජ්‍යෙෂ්ඨ
(Master) කායවර්ධන ශූරතා තරගාවලි වලට ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉදිරිපත් වී මේ වසරේත් පදක්කම් 06 ක් සහ කුසලානයක් (Shield) දිනා ගැනීමට ජගත් ගුණසේකර ක්‍රීඩකයා සමත් වී සිටී.

ඔහු 43 හැවිරිදි ගම්පහ කිරිදිවැල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු කුවේට් රාජ්‍යයේ රැකියාව කරන අතරතුර “වික්ටරි ඉන්ටර්නැෂනල් ” කායවර්ධන ආයතනයේ ජැක් ඩේවිස් මහතා යටතේ පුහුණුවීම් වල නිරත වී සිටින්නේය.

ඔහු 2023 වසරේ එක්සත් රාජධානියේ පැවති ජ්‍යෙෂ්ඨ (Master) ජාත්‍යන්තර තරගාවලි තුනකට සහභාගී වී ඒවායින් රන් පදක්කමක්, රිදී පදක්කම් 03 ක් සහ ලෝකඩ පදක්කම් 02 ක් දිනා ගැනීමට සමත් වී තිබේ.

මෙයින් පළමු වැන්න 2023 සැප්තැම්බර් මස 30 දින එක්සත් රාජධානියේ බ්‍රේවික් ලෙෂර් හී පැවති ජාත්‍යන්තර රාජකීය කායවර්ධන ශූරතා තරගාවලියේ දී සී කාණ්ඩයේ උස සෙන්ටි මීටර් 175 ට වැඩි විවෘත ඉසව්වෙන් රන් පදක්කමක් සහ කුසලානයක් ද වයස අවුරුදු 40 වැඩි ඉසව්වෙන් රිදී පදක්කමක් ද, වයස අවුරුදු 35 ට වැඩි ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් සහ Novice ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් ද දිනා ගැනීමට සමත් වී තිබේ.

2023 ඔක්තෝම්බර් මස 08 දින එක්සත් රාජධානියේ ස්ටැෆර්ඩ් ගේට් හි පැවති යුරෝපා කායවර්ධන ශූරතා තරගාවලියේ දී වයස අවුරුදු 35 ට වැඩි ජ්‍යෙෂ්ඨ ඉසව්වෙන් රිදී පදක්කමක් දිනා ගෙන තිබුණි.

එසේම 2023 ඔක්තෝම්බර් මස 14 වැනි දින එක්සත් රාජධානියේ මැන්චෙස්ටර් හී පැවති බ්‍රිතාන්‍ය කායවර්ධන ශූරතා තරගාවලියේ දී ජ්‍යෙෂ්ඨ විවෘත ඉසව්වෙන් රිදී පදක්කම ද දිනා ගැනීමට සමත් වී තිබුණි.

එමෙන්ම පසුගිය 2022 වසරේ දී එක්සත් රාජධානියේ පැවති ජ්‍යෙෂ්ඨ කායවර්ධන ශූරතා තරගාවලි 04 කට සහභාගී වී රන් පදක්කම් 02 ක් සහ රිදී පදක්කම් 02 ක් දිනා ගැනීමට ජගත් ගුණසේකර සමත් වී තිබේ.

එසේම එළඹෙන නොවැම්බර් 15 දින ඉතාලියේ මිලානෝ නුවර පැවැත්වෙන ජ්‍යෙෂ්ඨ කායවර්ධන ශූරතා තරගාවලිය සදහා සහභාගී වීමට ජගත් ගුණසේකර මේ වනවිට අවශ්‍ය පුහුණු වීම් වල නිරතව සිටින බව පැවසීය.

Share This