සෞඛ්‍ය වෘත්තීය සමිති 72 ක් අදත් වැඩවර්ජනයේ

සෞඛ්‍ය වෘත්තීය සමිති 72 ක් අදත් වැඩවර්ජනයේ

වෛද්‍යවරුන්ට ලබාදුන් රුපියල් 35,000 දීමනාව තමන්ට ද ලබා දෙන්නැයි ඉල්ලමින් සෞඛ්‍ය වෘත්තීය සමිති 72 ක් ඊයේ ආරම්භ කළ වැඩවර්ජනය අද (02) දිනයේත් ක්‍රියාත්මක වෙයි.

මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරින් ඊයේ දිනයේද කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වූ බවයි, සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු චානක ධර්මවික්‍රම මහතා පැවසුවේ.

සෞඛ්‍ය සේවක වැඩවර්ජනය හේතුවෙන් ඊයේ දිනයේ රෝහල් කටයුතුවලට දැඩි බාධා එල්ල විය.

ඉන් දැඩි පීඩාවට පත්වූයේ දුර බැහැර ප්‍රදේශවලින් රෝහල් කරා පැමිණි රෝගීන් ය.

මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසුවේ සෞඛ්‍ය සේවකයින්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් මීට පෙර මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු නිලධාරින් සමග සාකච්ඡා කළ බවයි.

ඔවුන් ඒ පිළිබඳ තීරණයක් ගැනීමට මාසයක කාලයක් ලබා දෙන්නැයි ඉල්ලා සිටි බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය.

පවතින තත්ත්වය යටතේ පෙරේදා දිනයේ ද මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට මේ පිළිබඳ සිහිකැඳවීමක් කළ බව සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

Share This