“වාහන ආනයන කතාව බොරු” – වාහන ආනයනකරුවන්ගේ සංගමය

“වාහන ආනයන කතාව බොරු” – වාහන ආනයනකරුවන්ගේ සංගමය

එන්ජින් ධාරිතාව 1000ccට අඩු වාහන ආනයනය කරන බවට වාහන ආනයනකරුවන්ගේ සංගමය පැවසුවේ යැයි අසත්‍ය ප්‍රචාරයක් සමාජගත වී ඇති බවත් වාහන යළි ආනයනය කරන්නේ නම් එම ප්‍රතිපත්තිමය තීන්දුව ගත යුත්තේ රජය මගින් බවත් වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ පැවසීය.

වාහන ආනයනය කරන ලෙස රජයට යෝජනා කිරීමට හැකි නමුත් වාහන ආනයනය කරනවා දැයි තීරණය ගත යුත්තේ රජය පාර්ශ්වයෙන් යැයි ඔහු පෙන්වා දුන්නේය.

මේ වන විට වෙළෙඳපොළේ වාහන මිල ගණන් අධික ලෙස උච්චාවචනය වන බව පෙන්වා දුන් ඒ මහතා, ඇතැම් අවස්ථාවක ලක්ෂ 70 මිලක වාහනය ලක්ෂ 80ට හෝ 85 සීමාවට ළඟාවන බවත් එම මිල යළි පහළ බසින තත්ත්වයක් ඇති බවත් කීය.

වාහන ආනයනය කිරීමකදී වාහනයකට නිශ්චිත මිලක් හිමි වන නමුත් දැන් රටේ එවැනි තත්ත්වයක් නොමැති බැවින් දැනට වෙළෙඳපොළේ පවතින භාවිත කළ වාහන විවිධාකාර මිල ගණන්වලට අලෙවි වන්නේ යැයි ද ඔහු පෙන්වා දුන්නේය.

මේ අනුව, වාහන ආනයනය සම්බන්ධව සමාජ මාධ්‍යයේ අසත්‍ය කටකතා සංසරණය වන්නේ යැයි ද එම කතා හුදෙක් නිර්මාණය කළ බොරු පමණක් යැයි ද වාහන ආනයනය කරන්නේ යැයි ප්‍රකාශ නිකුත් කර නැතැයි ද මෙරෙන්චිගේ මහතා පැවසීය.

Share This