සුධර්මාගේ මෙහෙකාරිය මියගිය සිද්ධියට පොලිසියේ 03ක් රිමාන්ඩ්

සුධර්මාගේ මෙහෙකාරිය මියගිය සිද්ධියට පොලිසියේ 03ක් රිමාන්ඩ්

ටෙලි නාට්‍ය නාට්‍ය අධ්‍යක්ෂවරියක වන සුධර්මා නෙත්තිකුමාර මහත්මියගේ නිවසේ මෙහෙකාරියක් ලෙස සේවය කර වැලිකඩ පොලිස් අත්අඩංගුවේ දී මරණයට පත් රාජන් රාජකුමාරීගේ මරණය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් එම පොලිසියේ පොලිස් සැරයන්වරු දෙදෙනෙකු හා කොස්තාපල්වරයෙකු ලබන 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයයි මෙම නියෝගය ලබාදී ඇත්තේ.

එදින සැකකරුවන් හඳුනාගැනීමට පෙරට්ටුවක් වෙත ඉදිරිපත් කරන ලෙසත් මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් මෙම සැකකාර පොලිස් නිලධාරීන් තුන්දෙනා ආවරණය කර අද සවස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුනවල මහතාගේ නිල මැදිරියට ඉදිරිපත් කළා.

විමර්ශන සිදුකරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරී මෙරිල් රන්ජන් ළමාහේවා ඇතුළු නිලධාරින් අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ මෙම සිද්ධියට අදාළ විමර්ශනවලදී අනාවරණය වූ කරුණු පදනම් කරගෙන මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

මෙම සැකකරුවන් තුන්දෙනා දුටුවොත් හඳුනාගත හැකි බවට සාක්ෂි කරුවන් කීපදෙනෙකු ප්‍රකාශ කර ඇති හෙයින් ඔවුන් හඳුනාගැනීමේ පෙරෙට්ටුවක් සඳහා යොමු කරන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලා සිටියා.

මෙහිදී සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ බී. ප්‍රියංග මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේ මෙම සැකකරුවන් පොලිස් නිලධාරීන් බැවින් බන්ධනාගාරය තුළ දී ඔවුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා ලෙස නියෝග නිකුත් කරන ලෙසටයි.

ඊට ප්‍රතිචාර වශයෙන් මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ තමාට එවැනි නියෝගයක් නිකුත් කළ නොහැකි වුවත් මෙම සැකකරුවන් පොලිස් නිලධාරීන් බව බන්ධනාගාර නිලධාරීන්ට දැනුම් දෙන බවයි.

අනතුරුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා අදාළ සැකකාර පොලිස් නිලධාරීන් තුන්දෙනා ලබන 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළ අතර එදින හඳුනාගැනීමේ පෙරෙට්ටුවක් සඳහා යොමු කරන ලෙසත් නියෝග කළා.

Share This