ඩයනාට එරෙහිව අපරාධ නඩු විධාන සංග්‍රය යටතේ ක්‍රියා කරන්නැයි උපදෙස්

ඩයනාට එරෙහිව අපරාධ නඩු විධාන සංග්‍රය යටතේ ක්‍රියා කරන්නැයි උපදෙස්

හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට එරෙහිව එල්ල වී ඇති අපරාධමය කරුණු සම්බන්ධයෙන් විමර්ශනය කරන ලෙසත් ඇයට එරෙහිව අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී ඇත.

බ්‍රිතාන්‍ය පුරවැසියෙකුව සිටියදී මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීම සම්බන්ධව විභාගවූ නඩුකරවලදී සහ විමර්ශනවලදී අනාවරණය වූ අපරාධමය කරුණු සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා ආකාරය පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා නීතිපතිවරයාගෙන් උපදෙස් විමසා සිටියේය.

ඩයනා ගමගේ මහත්මිය සම්බන්ධයෙන් අපරාධමය කරුණු කීපයක් අනාවරණය වී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා නීතිපතිවරයා දන්වා තිබිණි.

ව්‍යාජ ලේඛන ඉදිරිපත් කිරීම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීම, මැතිවරණ නීති උල්ලංඝණය කරමින් කටයුතු කිරීම, ව්‍යාජ ලේඛන මුල් ලේඛන ලෙස ඉදිරිපත් කිරීම ඒ අතර විය.

ගමගේ මහත්මියට එරෙහිව විමර්ශනයක් සිදුකරන ලෙසත් ලැබෙන සාක්ෂි මත අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ චෝදනා ගොනු කරමින් ඇයව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී ඇත.