රන් පදක්කම් 25ක් සමගින් පදක්කම් 84ක් ලබමින් ලංකාවේ ප්‍රවීණයෝ ආසියාවේ 8වැනි ස්ථානයට

රන් පදක්කම් 25ක් සමගින් පදක්කම් 84ක් ලබමින් ලංකාවේ ප්‍රවීණයෝ ආසියාවේ 8වැනි ස්ථානයට

පිලිපීනයේ පැවති 22 වන ආසියානු ප්‍රවීණයන්ගේ මළළ ක්‍රීඩා තරගාවලියේ දී රන් පදක්කම් 25 ක්, රිදී පදක්කම් 34 ක් සහ ලෝකඩ පදක්කම් 25 දිනා ගනිමින් සමස්ථ පදක්කම් 84 ක් දිනා ගනිමින් ආසියානු තරගාවලි පදක්කම් සටහනේ 08 වන ස්ථානය ශ්‍රී ලංකාවට හිමි කර දීමට කටයුතු කළ ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිස ඊයේ (13) මධ්‍යම රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ.

මෙම තරගාවලිය පිලිපීනයේ මැනිලා නුවර ඉකුත් 08 වන දින සිට 12 වන දින දක්වා ආසියානු රටවල් 26 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1,884 දෙනෙකුගේ සහභාගීත්වයෙන් පවත්වා තිබුණි.

එහිදී වයස අවුරුදු 50 – 54 කාණ්ඩයෙන් තරග කළ දිලිප් ඒකනායක මීටර් 800 විනාඩි 02 යි තත්පර 54 කින් සහ මීටර් 400 තත්පර 52.07 කින් නිමා කරමින් නව ආසියානු තරග වාර්තාවක් තැබීමට සමත් වී තිබුණි.

මෙම තරගාවලියේ දී හයිඩ්‍රාමනි ආයතනයේ විධායක නිලධාරීවරයෙකු ලෙස සේවය කරන දිලිප් ඒකනායක එම ඉසව් දෙක සදහා රන් පදක්කම් දෙකක් ද ඊට අමතරව මීටර් 400 × 4 සදහා රිදී පදක්කමක් සහ මීටර් 100 × 4 සදහා ලෝකඩ පදක්කමක් ද දිනා ගැනීමට සමත් වී තිබුණි.

දිලිප් ඒකනායක මෙම පදක්කම් 04 ත් සමග මේ වනවිට ජාත්‍යන්තර තරග වලදී ශ්‍රී ලංකාව වෙනුවෙන් පදක්කම් 32 ක් දිනා ගෙන ඇති ක්‍රීඩකයෙකු බව හෙතෙම මාධ්‍ය හමුවේ අදහස් ප්‍රකාශ කරමින් පැවසීය.

මීට අමතරව වයස අවුරුදු 35 – 39 කාණ්ඩයෙන් තරග කළ දසුන් සිල්වා ද නව ආසියානු තරග වාර්තාවක් තැබීමට සමත් වී තිබුණි.

මෙම ජයග්‍රාහී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පිරිස ඊයේ දින රාත්‍රී 11.30 ට සිංගප්පූරුවේ සිට සිංගප්පූරු ගුවන් සේවයේ එස්.කිව්.- 468 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ අතර ඔවුන් පිළිගැනීම සදහා සීමාසහිත හයිඩ්‍රාමනි ආයතනයේ ක්‍රීඩා අංශයේ නිලධාරීන්, මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පවුල් වල සාමාජිකයන් ද ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ සිටියහ.

Share This