ඇල්ල – වැල්ලවාය මාර්ගය විවෘත කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගය විවෘත කරයි

නායයාමේ අවදානම් තත්ත්වයන් හේතුවෙන් තාවකාලිකව වසා දැමූ ඇල්ල වැල්ලවාය මාර්ගය අද (17) උදෑසන සිට යළි විවෘත කළ බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඊ.එම්.එල් උදය කුමාර මහතා පැවසීය.

කෙසේ වෙතත් ඇල්ල කරඳගොල්ල මලිතගොල්ල ප්‍රදේශයේ නායයාමක් සක්‍රිය වී ඇති බැවින් එම ස්ථානය දෙපස පොලිස් මාර්ග බාධක යොදා ඇති බවත් පොලිස් නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ පමණක් එම ස්ථානය පසු කිරීමට රියදුරන්ට අවස්ථාව ලැබෙන බවත් ඒ මහතා පැවසීය.

පැවති ධාරානිපාත වර්ෂාව හේතුවෙන්, ඇල්ලවැල්ලවාය මාර්ගයේ 10/ 11 කිලෝමීටර් කණු අතර සහ තවත් තැනින් තැනට පස් කඳු සහ ගල් පර්වත පෙරලීම, කඳු මුදුනේ සිට විශාල දිය දහරාවන් ගලා ඒම නිසා එම මාර්ගය භාවිතා කිරීමට නොහැකි තත්ත්වයක් ඇතිවූ බැවින් මාර්ගයේ ගමනාගමනය සම්පූර්ණයෙන් වසා දැමීමට පියවර ගෙන තිබුණි.

කෙසේ වෙතත් කාලගුණ දත්ත විශ්ලේෂණය කර ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය ලබා දෙන නිර්දේශයන්ට අනුව විටින් විට මෙම මාර්ගය භාවිතා කළ හැකිද නැද්ද යන්න පිළිබඳව විශේෂ දැනුම්දීම් මාධ්‍ය ඔස්සේ කිරීමට සිදුවන බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.