අම්බලන්තොටදී ලංගම බස් රථයකට ගොඩ වී කාන්තාවකට වෙඩි තැබූ දෙදෙනා අත්අඩංගුවට

අම්බලන්තොටදී ලංගම බස් රථයකට ගොඩ වී කාන්තාවකට වෙඩි තැබූ දෙදෙනා අත්අඩංගුවට

අම්බලන්තොට කොග්ගල්ල මදයමලලන්ද ප්‍රදේශයේ දි ලංගම බස් රථයකට ගොඩ වී කාන්තාවකට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධයැයි සැකකරන පුද්ගලයින් දෙදෙනා කොග්ගල්ල ප්‍රදේශයේ කැළයක සැඟව සිටියදී අත්අඩංගුවට ගත් බව මාතර හම්බන්තොට දෙදිසාව භාර නියෝජ්‍ය පොලිස්පති මහේෂ් සේනාරත්න මහතා පැවසිය.

වෙඩි තැබීමට යොදාගත් ෂොට් ගන් ගිනි අවිය සහ ඔවුන් පැමිණි යතුරු පැදියද අත්අඩංගුවට ගෙන ඇත.

මාතර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයේ නිළධාරීන් විසින් සිදුකල විශේෂ මෙහෙයුමක දී මෙම සැකකරුවන් දෙදෙනා සමඟ යතුරු පැදියද, ගිනි අවියද අත්අඩංගුවට ගැනිමට හැකි වී ඇත.

ඉකුත් 07 වන දා අම්බලන්තොට නගරයෙන් ගමන් වාරය ආරම්භ කර කොග්ගල්ල බලා ධාවනය වූ අම්බලන්තොට ඩිපෝවට අයත් බස් රථය මදයමලලන්ද ප්‍රදේශයට ලඟාවනවාත් සමඟම යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙක් මඟ හරස් කර බස් රථය නතර කර බස් රථයට ගොඩ වී බස් රථයේ ගමන් ගත් ගත් කාන්තාවකට වෙඩි තබා පලා ගොස් තිබිණි.

තුවාල ලැබූ කාන්තාව බැරගම රජයේ රෝහලට මුලින් ඇතුලත් කිරිමෙන් පසුව හම්බන්තොට මහ රෝහලටත්, ඉන් පසුව කරාපිටිය මහ රෝහලට මාරු කර යවා දැනට ප්‍රතිකාර ලබමින් සිටින්නීය.

Share This