ජනපති ඓතිහාසික කතරගම පුදබිමට

ජනපති ඓතිහාසික කතරගම පුදබිමට

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (03) පස්වරුවේ ඓතිහාසික කතරගම පුද බිම වෙත ගොස් ආගමික වතාවත්වල නිරත විය.

කිරිවෙහෙර විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍ය කොබවක ධම්මින්ද නායක හිමිපාණන් වහන්සේ බැහැ දුටු ජනාධිපතිවරයා උන්වහන්සේගේ සුව දුක් විමසමින් කෙටි පිළිසඳරක නිරත විය.

අනතුරුව පැවති ආගමික වතාවත්වලට සහභාගී වූ ජනාධිපතිවරයා ආශිර්වාද ලබා ගත්තේය.

කතරගම වාර්ෂික ඇසළ මහා පෙරහර මංගල්‍යයේ අවසන් දිනය වූ ඊයේ දින පෙරහර ආරම්භ කරමින් කණ්ඩුල හස්ති රාජයා මත සධාතුක කරඬුව තැන්පත් කිරීම ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදු විය.

අනතුරුව අවසන් මහා පෙරහර නැරඹීමට එක් වූ ජනාධිපතිවරයා කතරගම සමන් මහා දේවාලය වෙත ද ගොස් ආශිර්වාද ලබා ගත්තේය.

කතරගම වාර්ෂික ඇසළ මහා පෙරහර මංගල්‍ය වෙනුවෙන් පුදබිම වෙත පැමිණ සිටි බැතිමතුන් සමඟ සුහද කතා බහක නිරත වීමට ද ජනාධිපතිවරයා අමතක නොකළේය.

Share This