ආන්දෝලනාත්මක මිග් යානා ගනුදෙනුවේ මුල් ගිවිසුම අතුරුදන්

ආන්දෝලනාත්මක මිග් යානා ගනුදෙනුවේ මුල් ගිවිසුම අතුරුදන්

ආන්දෝලනාත්මක මිග් යානා ගනුදෙනුවට අදාළ රාජ්‍යයන් දෙකක් අතර අත්සන් කළ මුල් ගිවිසුම අස්ථානගත වී ඇතැයි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාට දැනුම් දී තිබෙනවා.

ගෝඨාභය රාජපක්ෂ විසින් ගල්කිස්ස දිසා අධිකරණයේ ගොනුකරන ලද, විදේශ අමාත්‍ය අලි සබ්රි නීතීඥවරයා සමඟ දිලීප් ජයවීර මහතා පෙනීසිටින ලද නඩුවට රැගෙන ගිය SLAF/2006/07/AIR දරන මිග්යානා ගිවිසුම මෙලෙස අතුරුදන් වී ඇති බවටයි වාර්තා වන්නේ.

ඩොලර් මිලියන 15 ක වටිනාකමක් ඇති මිග් යානා ගනුදෙනුව පිළිබඳ නඩුව මෝසමක් මඟින් ජනවාරි 09 දින කැඳවූ අවස්ථාවේදී මෙම දැනුම් දීම සිදු කර තිබෙනවා.

එහිදී ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා සඳහන් කර ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබා දෙමින් එයාර් වයිස් මාර්ෂල් කුමාරසිංහ, මිග් යානා ගනුදෙනුවට අදාළ මුල් ගිවිසුම අස්ථානගත වී ඇතැයි හෙළිකොට ඇති බවයි.

වසර 8ක කාලයක් ගතවී ඇතත් ඒ සම්බන්ධයෙන් එම දෙපාර්තමේන්තුව කිසිදු පියවරක් ගෙන නොමැති බවද එහිදී සඳහන් කර තිබේ .

ඩොලර් මිලියන 15 කට අදාළ ගනුදෙනුවක් සම්බන්ධයෙන් අත්සන් කරන ලද ගිවිසුමක මුල් පිටපත අස්ථානගත කළ පුද්ගලයන්ට එරෙහිව නීතීය ක්‍රියාත්මක නොකර, ගනුදෙනුවේ දී තැරැව්කරුවන් ලෙස පමණක් කටයුතු කළ පුද්ගලයන් එම නඩුවේ සැකකරුවන් ලෙස නම් කර සිතාසි නිකුත් කිරීම අසාධාරණ යැයි නීතීඥ මෛත්‍රී ගුණරත්න මහතා අධිකරණය හමුවේ පවසා තිබෙනවා.

2006 වසරේ දී ශ්‍රී ලංකා ගුවන් හමුදාව සදහා ඩොලර් මිලියන 15 ක වටිනාකමකින් යුතු මිග් යානා හතරක් මිලදී ගැනීමට අදාල ගනුදෙනුව සිදු වුණා.

මිග් යානා ගනුදෙනුවේ දී දැවැන්ත මූල්‍ය වංචාවක් සිදුව ඇති බවට චෝදනා එල්ල වී තිබෙන අතර, මෙම ගනුදෙනුව සදහා සෘජුව සම්බන්ධ වූ එවකට යුක්රේනයේ ශ්‍රී ලංකා තානාපතිවරයා වූ උදයංග වීරතුංග මහතා අත්අඩංගුවට ගනු ලැබූ අතර පසුව ඔහු ඇප මත මුදා හැරියා.