සුව වෙමින් සිටින අග්බෝගෙන් ප්‍රදේශවාසීන්ට හිරිහැර

සුව වෙමින් සිටින අග්බෝගෙන් ප්‍රදේශවාසීන්ට හිරිහැර

මාස හතරකට අධික කාලයක් වනජීවී සංරක්ෂණ නිලධාරීන්ගේ ප්‍රතිකාර ලබමින් සිටි අග්බෝ ඇතා මේ වන විට සුවය ලැබීමෙන් පසු ගම්වල සැරිසරමින් ආහාර සොයා නිවෙස් වලට අලාභහානි සිදු කරමින් සිටින බව වාර්තා වනවා.

ප්‍රදේශවාසීන් පැවසුවේ සුව අතට හැරෙමින් පවතින ඇතා මේ වන විට රාත්‍රියේදී කිලෝමීටර් 10 ක් පමණ ඇවිදිමින් ආහාර සොයා ගම්මානවල සැරිසරන බවයි.

තිරප්පනේ ප්‍රදේශයේ වගා බිම්, ගෙවතු වගාවන් සහ නිවාස කිහිපයක් ද ඉන් විනාශ වී ඇති බවයි ඔවුන් පෙන්වා දුන්නේ.

කෙසේවෙතත් අග්බෝගෙන් තම ජීවිතයට සිදුවිය හැකි අනතුරක් ගැන ඔවුන් නිරන්තර බියෙන් ජීවත් වන බවයි ගම්වාසීන් පැවසුවේ.

එමෙන්ම අග්බෝට ගම්වල සැරිසැරීමට ඉඩ දුන්නොත් ඔහුගේ ජීවිතයට සිදුවිය හැකි අනතුරක් ගම්මු පෙන්වා දෙනවා.

ඉදිරි පාදයකට බරපතළ තුවාල ලබා සිටි අග්බෝ දින 86 කට වැඩි කාලයක් වනජීවී දෙපාර්තමේන්තුවේ ශල්‍ය වෛද්‍යවරුන්ගේ ප්‍රතිකාර හා රැකවරණය යටතේ සිටියා.

ඇතාගේ ජීවිතය බේරා ගැනීම සඳහා ඔවුන් ශල්‍යකර්ම කිහිපයක් සිදුකර තිබුණා.

කෙසේ වෙතත්, මේ වනවිට අග්බෝ ඇතා පළවා හැරීමට නොහැකි වීම නිසාවෙන් වනජීවි නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් අතර ගැටුම්කාරී තත්වයක් නිර්මාණය වෙමින් පවතින අතර, අග්බෝ ඇතාගේ ආරක්ෂාව පිළිබඳ යම් තර්ජනයක් එල්ල වී ඇති බව සඳහන්.

එබැවින් ප්‍රදේශවාසීන් ඉල්ලා සිටින්නේ කඩිනමින් හස්තියා අල්ලා සුදුසු ස්ථානයකට රැගෙන ගොස් මුදාහරින ලෙසටයි.

Share This