විදුලි බිල සංශෝධනයට VAT එකේ කිසිම බලපෑමක් නෑ

විදුලි බිල සංශෝධනයට VAT එකේ කිසිම බලපෑමක් නෑ

විදුලි බිල සංශෝධනයෙන් ජනතාවට ජනවාරි මාසයේදී සහනයක් දෙන බවත් විදුලිබල සංශෝධනයේදී වැට් බද්දෙහි බලපෑමක් සිදු නොවන බවත් විදුලිබල සහ බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා ඊයේ (19) පැවසීය.

ස්ථාවර රටකට සැවොම එක මඟකට මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී පැවැති මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා මේ බව පැවසීය.

යෝජිත නව විදුලිබල පනත් කෙටුම්පත මේ වන විට ගැසට් කර අවසන් බවත් ඊට විවිධ අදහස් හා යෝජනා ලැබෙමින් පවතින බවත් කී ඇමැතිවරයා, තවත් යෝජනා ඇත්නම් ජනවාරි 3තෙක් ලිඛිතව ලබා දිය හැකි බවත් පැවසුවේය.

යෝජිත නව පනත් කෙටුම්පත විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ වලට සහ අනාගතය ශක්තිමත් කළ හැකි පනතක් බවට පරිවර්තනය කරමින් ජනවාරි මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් හෙතෙම කීවේය.

ජනවාරි මාසයේ විදුලි බිල සංශෝධනය කිරීමට බලාපොරොත්තු වනවා. දැනට උපරිම ධාරිතාවයෙන් ජල විදුලිය උත්පාදනය සිදු කෙරෙනවා. මින් පෙර ඔක්තෝබර් මාසයේදී විදුලි ගාස්තු වැඩි කිරීම සිදු කළේ ෆොසිල ඉන්ධන භාවිතය හේතුවෙන් විදුලිය නිෂ්පාදනයට වැය වන අධික පිරිවැය සැළකිල්ලට ගනිමිනුයි.

කෙසේ වෙතත්, දැන් කාලගුණික තත්ත්වය වෙනස් වී තිබෙනවා. පසුගිය මාස දෙක තුළ වර්ෂාපතනය ලැබුණු බැවින් සහ වර්ෂාපතනය තවත් සති දෙකක කාලයක් පවතිනු ඇතැයි අපේක්ෂා කරන බැවින් විදුලි ගාස්තු සංශෝධනය කළ හැකි බව ලංකා විදුලිබල මණ්ඩලය (ලංවිම) අප වෙත දන්වා තිබෙනවා.

ඒ අනුව දෙසැම්බර් මාසයේ ලංකා විදුලිබල මණ්ඩලයේ ශේෂ පත්‍ර සළකා බලා ලබන ජනවාරි මාසයේ පැවැත්වෙන මීළඟ ගාස්තු සංශෝධනයේදී යම් සහනයක් ජනතාවට ලබාදීමට හැකිවනු ඇතැයි අප විශ්වාස කරනවා.

එමෙන්ම ජනවාරියේ සිදුවන විදුලිබිල සංශෝධනයට එකතු කළ අගය මත බද්දෙහි (VAT) කිසිදු බලපෑමක් ඇති වන්නේ නැහැ. විදුලි ජනනය සඳහා භාවිත කෙරෙන නැප්තා සහ ගල්අඟුරු බද්දෙන් නිදහස් නිසා විදුලි බල ක්ෂේත්‍රයට වැට් බද්ද අදාළ නොවන බව පැවසිය යුතුයි.

 

Share This