පුරප්පාඩු අතුරින් හෙද සේවාව සඳහා 1000 ක් වහාම බඳවා ගන්න – සෞඛ්‍ය ඇමතිගෙන් උපදෙස්

පුරප්පාඩු අතුරින් හෙද සේවාව සඳහා 1000 ක් වහාම බඳවා ගන්න – සෞඛ්‍ය ඇමතිගෙන් උපදෙස්

හෙද සේවාවේ පවතින පුරප්පාඩු අතුරින් 1000 ක ප්‍රමාණයක් වහාම බඳවා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා එම අමාත්‍යාංශයේ නිලධාරීන්ට අද උපදෙස් ලබා දුන්නේ ය.

මේ වනවිට 3000 ක පමණ හෙද පුරප්පාඩු ප්‍රමාණයක් මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ පවතින අතර ඒ අනුව අනෙකුත් අවශ්‍ය බඳවාගැනීම්ද කඩිනමින් සිදු කිරීමට මේ වන විට අවශ්‍ය පියවර ගනිමින් තිබෙන බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

මෙලෙස පළමු වටයේදී බඳවා ගැනෙන පිරිසට අමතරව අනෙකුත් පුරප්පාඩු සඳහාද සිදු කිරීමට නියමිත බඳවා ගැනීමේදී ඔවුන්ගේ ජ්‍යෙෂ්ඨත්වයට හානියක් නොවන පරිදි අදාළ බඳවාගැනීම් සිදු කිරීමට පියවර ගන්නා ලෙසත් අමාත්‍යවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

අද (12) සෞඛ්‍ය අමාත්‍යාංශයේදී එම අමාත්‍යාංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා ඇතුළු නිලධාරීන් සමග පැවති සාකච්ඡාවකදී මෙම උපදෙස් ලබා දුන්නේය.

මෙයට අමතරව හෙද හා අතුරු වෛද්‍ය උපාධිධාරීන් 825 දෙනෙකු සඳහා අවශ්‍ය පුහුණුව ලබාදීමට වහාම පියවර ගන්නා ලෙසත් ඒ ඔස්සේ ඉතා කඩිනමින් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ හෙද හා අතුරු වෛද්‍ය සේවාවන්හි පවතින පුරප්පාඩු පිරවීමට කටයුතු කරන ලෙසත් අමාත්‍යවරයා උපදෙස් ලබා දුන්නේය.

මේ අතර රටේ පවතින මූල්‍ය අර්බුදය ඇතුළු අභියෝගාත්මක තත්ත්වය තුළ වුවද සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කාර්යක්ෂමතාවය හා ගුණාත්මකභාවය ඉහළ නැංවීම සඳහා සීමාවාසික වෛද්‍ය පත්වීම් 3463 ක්, පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් 2648 ක්, හෙද පත්වීම් 2791 ක්,හෙද විදුහල් වලට බඳවා ගැනීම් 3316 ක්, මෙන්ම වෛද්‍ය රසායනාගාර කාර්මික ශිල්පී 238 ක්, විකිරණ ශිල්පී 38 ක්,වෘත්තිය චිකිත්සකයින් 45 ක් ඇතුළු ප්‍රමාණයක් බඳවා ගැනීමටද ගෙවුණු වසර දෙකක කාලය තුළ කටයුතු කර ඇත.

එමෙන්ම සෞඛ්‍ය කාර්යය සහයක ලෙස බහු කාර්ය සහායකයින් 1000 ක්ද සෞඛ්‍ය ක්ෂේත්‍රයට පසුගිය මාස කිහිපය තුළ බඳවා ගනු ලැබ ඇත.

එමෙන්ම රට තුළ ඖෂධ තොග පවත්වාගෙන යෑම මාස 03-04 ක කාලයකට නොව වසරක කාලයක් සඳහා තබා ගැනීමේ වැඩපිළිවෙළ ප්‍රතිපත්තියක් ලෙස ක්‍රියාත්මක කිරීමටත් ඒ තුළ අත්‍යවශ්‍ය ඖෂධ හිඟයකින් තොරව සෞඛ්‍ය පද්ධතියට මුදාහැරීමට කටයුතු කරන ලෙසත් සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

එම ප්‍රතිපත්තිය අනුව ඖෂධ ඇණවුම් කිරීමේදී කෙටි කාලයක් සඳහා ඖෂධ ඇණවුම් නොකරන ලෙසත් අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය. ඉදිරි සති කිහිපය තුළ අත්‍යවශ්‍ය ඖෂධ ඇතුළු අනෙකුත් ඖෂධ වල පවතින හිඟතාවය සපුරාලීමට ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නා ලෙසත් ඒ සඳහා අදාළ ආයතනයන්හි වඩා නිවැරදි සම්බන්ධීකරණය පවත්වාගෙන යමින් ක්‍රියා කරන ලෙසත් අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

Share This