ෆාමසියේ සේවයට ගිය තරුණිය දින 5ක් තිස්සේ අතුරුදන්

ෆාමසියේ සේවයට ගිය තරුණිය දින 5ක් තිස්සේ අතුරුදන්

තම සේවා ස්ථානයට යාම සඳහා නිවසින් පිටත්ව මීටර 100ක පමණ දුරක් ගමන් කළ ගිය 22 හැවිරිදි තරුණියක් දින පහක් තිස්සේ අතුරුදහන්ව ඇතැයි තොරතුරු වාර්තා වනවා.

මෙලෙස අතුරුදන් වී ඇත්තේ ගම්පොළ, ඇල්පිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණියක්.

ගම්වාසීන් සහ ගම්පොල පොලිසිය ඇය සොයා ඊයේ අද මහවැලි ගඟේ ඉවුර ඇතුළු කැලෑබද ප්‍රදේශවල මෙහෙයුමක් අරඹා ඇති බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ.

මෙම තරුණිය ගෙලිඔය නගරයේ ඖෂධහලක සේවය කරන බව සොහොයුරා සඳහන් කරනවා.

නිවසේ සිට මීටර 100ක් පමණ ගිය පසු ඇල්පිටිය පල්ලියේ ඇති CCTV කැමරාවල මෙම තරුණියගේ රුව අවසන් වරට සටහන් වී ඇති අතර එම ස්ථානයෙන් එපිට ඇති එවැනි CCTV කැමරාවල හෝ ඇය දුටු අය මෙතෙක් හමු නොවූ බවයි ඥාතීන් පවසන්නේ.

අතුරුදන් තරුණියගේ මව පවසන්නේ සේවය කරන ස්ථානයට යාම සඳහා පසුගිය ඉරිදා නිවසින් පිටත් වූ දියණිය බස් ගාස්තු ලෙස රුපියල් සියයක මුදලක් පමණක් තමාගෙන් ඉල්ලා ගෙන ගිය බවයි.

ඇය තමා හෝ කිසිවෙකු සමග අමනාපයක් නොමැති බව ද මව ප්‍රකාශ කරනවා.

අතුරුදන් තරුණියට තවත් සොහොයුරන් තිදෙනකු සිටින අතර සිද්ධිය වූ දින පියා සහ එක් සොහොයුරෙක් කොළඹ ප්‍රදේශයට ගොස් සිටි බව සඳහන්.

සේවයට යාම සඳහා බස් රථයක් ලබා ගැනීමට ඇයට නිවසේ සිට කිලෝමීටර දෙකක් පමණ පා ගමනින් වැලිගල්ල දක්වා යා යුතු අතර එම ගමන් මාර්ගයේ බොහෝ ස්ථාන පාලුවට ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

පසුගිය දින කිහිපය පුරා ඥාති නිවෙස්, මිතුරු මිතුරියන්ගේ නිවාස හා අනෙකුත් ස්ථාන ඥාතීන් ඇතුළු ප්‍රදේශවාසීන් පරීක්ෂාවට ලක් කර ඇතත් ඇය පිළිබඳව මෙතෙක් කිසිදු හෝඩුවාවක් නොවූ බව තරුණියගේ පියා ප්‍රකාශ කළා.

සේවා ස්ථානයේ යතුර ද ඇය සතුව තිබී ඇති අතර ඉරිදා පෙරවරු 11ට පමණ එහි හිමිකරු ඇයගේ නිවසට දුරකථන ඇමතුමක් ලබාදීම හේතුවෙනුයි තරුණිය ෆාමසියට නොගොස් ඇති බව හෙළි වී ඇත්තේ.

ඉන්පසු ඇය සම්බන්ධයෙන් ඥාතීන් සොයා බලා මේ පිළිබඳව ගම්පොල පොලිසිය වෙත දන්වා තිබුණා.

5 2

1 3

4 2

 

 

Share This