රනිල්ගෙ ආර්ථිකය හර්ෂට හොඳ වුණාට අපට හොඳ නෑ – පා.ම. එස්.එම්. මරික්කාර්

රනිල්ගෙ ආර්ථිකය හර්ෂට හොඳ වුණාට අපට හොඳ නෑ – පා.ම. එස්.එම්. මරික්කාර්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආර්ථික ප්‍රතිපත්තිය හර්ෂ ද සිල්වා මහතාට හොඳ වුවද, සමගි ජනබලවේගයට එය හොඳ නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පැවසීය.

එමෙන්ම රනිල් වික්‍රමසිංහ ආර්ථික ප්‍රතිපත්තිය සහ සමගි ජනබලවේගයේ ආර්ථික ප්‍රතිපත්තිය සහමුලින්ම වෙනස් බවද ඒ මහතා කියා සිටියේය.

ඔහු මේ බව කියා සිටියේ, යූටියුබ් නාළිකාවක වැඩසටහනකට සහභාගි වෙමිනි.

“අපි ලිබරල් ආර්ථික ප්‍රතිපත්තිය පිළිගන්නෙ නෑ. අපි පිළිගන්නෙ සමාජ වෙළෙඳ පොළ ආර්ථිකය. ඒ කියන්නෙ පාඩු ලබන සියලු ආයතන විකිණීම නෙවෙයි. පාඩු ලබන ආයතන අපේ දේශීය සම්පත් කියලා රැකගැනීමත් නෙවෙයි. මේවා ලාභ ලබන ආයතන බවට පුද්ගලික අංශයත් එක්ක එකතු වෙලා පත් කිරීම. රජය ව්‍යාපාර වලින් ඉවත් වීම. ඇති හැකි අයගෙන් නැති බැරි අයට ලබාදීම වගේම ඇති හැකි අය තවදුරටත් රටේ ආර්ථිකයට දායක කරගැනීම.

අයි.එම්.එෆ් යායුතුයි. ඒකට රණසිංහ ප්‍රේමදාසත් ගියා. අයි.එම්.එෆ් ගියා කියලා ඔක්කොම එකඟ වෙන්න ඕන නෑ. අයි.එම්.එෆ් කියන්නෙ නෑ මේ බිල මෙච්චරකින් වැඩි කරන්න, ටැක්ස් මෙච්චරකින් වැඩි කරන්න කියලා. මේකෙ රොකට් සයන්ස් එකක් නෑ. අයි.එම්.එෆ් එක බලන්නේ ණය නෙගෙවා ඉන්නවට වඩා අපි ණය ගෙවීමේ හැකියාව කොහොමද වැඩි කරගන්නෙ කියලා. ගෙවීමේ හැකියාව පෙන්නනවා නම් අපි ඒ කොන්දේසිවලට යටත් වෙන්න ඕන නෑ. අපිට ගෙවීමේ හැකියාව නැතිනම් විතරයි ඔවුන් බලපෑම් කරන්නෙ. ඒ නිසා අපි ගිහිල්ලා ඔවුන් ළඟ දණගහලා, ඔවුන් කියන සියල්ලට එකඟ වෙන්න ඕන නෑ” යනුවෙන්ද ඔහු තවදුරටත් කියා සිටියේය.

Share This