චමින්ද විජේසිරි ඉල්ලා අස්වුණේ ලක්‍ෂ 900 ක් සල්ලි අරන් – ඊළගට එන්නේ ද්විත්ව පුරවැසියෙක්

චමින්ද විජේසිරි ඉල්ලා අස්වුණේ ලක්‍ෂ 900 ක් සල්ලි අරන් – ඊළගට එන්නේ ද්විත්ව පුරවැසියෙක්

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි සිය මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වූයේ මුදල් ලබාගැනීමෙන් අනතුරුව බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද (10) පාර්ලිමේන්තුවේදී පැවසීය.

සජබ ලැයිස්තුවේ මීළඟට සිටින අපේක්ෂකයා හට පාර්ලිමේන්තු අසුන ලබාදීම වෙනුවෙන් චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා රුපියල් මිලියන 90ක් ලබාගෙන ඇති බව ප්‍රකාශ කළ මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා, ඒ ගැන සොයා බලන ලෙස කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.

“ලැයිස්තුවේ සිටින ඊළඟ පුද්ගලයාට පාර්ලිමේන්තුවට පැමිණීම සඳහා ඔහුගේ ආසනය හිස් කිරීමට චමින්ද විජේසිරි රුපියල් ලක්‍ෂ 900 ක් ලබාගෙන තිබෙනවා. මන්ත්‍රීවරයා කිව්වේ එතුමට ළමයි ඉස්කොලේ යවන්න බැහැ, එතුමට පාරේ යන්න බැහැ ඒ නිසා කළකිරිලා ඉල්ලා අස්වෙනවා කියලා. මන්ත්‍රීවරු සියලු දෙනා හෑල්ලු කරමින් මාධ්‍ය ඒක හුවා දක්වලා තියෙනවා. මේ වාර්තාවලින් සියලුම මන්ත්‍රීවරුන් උපහාසයට ලක්වෙලා. මේ නාඩගම සියලුම මන්ත්‍රීවරුන්ට අහිතකර ලෙස බලපෑවා.” යැයි අලුත්ගමගේ මන්ත්‍රීවරයා සඳහන් කළේය.

එමෙන්ම සජබ ලැයිස්තුවේ මීළඟට සිටින නයන වාසලතිලක ද්විත්ව පුරවැසියකු බැවින් ඔහුට මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දීමේ ගැටලුවක් පවතින බව ද මන්ත්‍රීවරයා පැවැසීය.

Share This