අභාවප්‍රාප්ත සනත් නිශාන්ත මහතාගේ අවසන් කටයුතු ගැන දැනුම්දීමක්

අභාවප්‍රාප්ත සනත් නිශාන්ත මහතාගේ අවසන් කටයුතු ගැන දැනුම්දීමක්

අද (25) උදෑසන සිදුවූ හදිසි රිය අනතුරකින් අභාවප්‍රාප්ත වූ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ දේහය මහජන ගෞරවය සඳහා අද පස්වරු 5.30 ට බොරැල්ලේ ජයරත්න මල්ශාලාවට රැගෙන ඒමට නියමිත බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

අනතුරුව දේහය හෙට (26) දින උදෑසන 10.30 ට පුත්තලමේ පිහිටි එතුමාගේ නිවස වෙත රැගෙන යාමට නියමිත අතර දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන 28 වන ඉරිදා සිදුකිරීමට සැලසුම් කර තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසුවේ, ආරච්චිකට්ටුව ප්‍රදේශයේ දී අවසන් කටයුතු සිදුකිරීමට සැලසුම්කර ඇති බවය.

අද අලුයම කටුනායක අධිවේගී මාර්ගයේ සිදුවු රිය අනතුරකින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා ජීවිතක්ෂයට පත් වුණි.

අද අලුයම දෙකට පමණ රාජ්‍ය අමාත්‍යවරයා ගමන් ගත් සුඛෝපභෝගී රථය එම දෙසටම ඉදිරියෙන් ධාවනය වූ කන්ටේනර් රථයක හා මාර්ගයේ ආරක්ෂිත වැටේ ගැටීමෙන් අනතුර සිදුව තිබිණි.

අනතුරෙන් තුවාල ලැබු ජිප් රථයේ ගමන්ගත් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා මියගිය අතර ජීප් රථයේ රියදුරු රාගම රෝහලේ ප්‍රතිකාර ලබයි.

සනත් නිශාන්ත මියයන විට 48 හැවිරිදි වියේ පසු වුණි.

Share This