හදිසි ඖෂධ මිලදී ගැනීම නවතී

හදිසි ඖෂධ මිලදී ගැනීම නවතී

සිය උපදෙස් මත හදිසි මිලදී ගැනීම් වශයෙන් ඖෂධ වර්ග හැත්තෑ පහක් ගෙන්වීම සඳහා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව කළ ටෙන්ඩර් කැඳවීම නිලධාරින්ගෙන් එල්ල වූ විරෝධතා මත නතර කිරීමට සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ලට ඊයේ ( 14 ) සිදු විය.

මෙම ඖෂධ සඳහා මිල ගණන් කැඳවීමට ඇමැතිවරයා සභාපතිවරයාට උපදෙස් දී ඇත්තේ ප්‍රසම්පාදන කමිටුවේ කිසිදු අනුමැතියකින් හෝ සාකච්ඡාවකින් ද තොරව බව අමාත්‍යාංශ ආරංචි මාර්ග කීවේය.

ප්‍රසම්පාදන කමිටුවේ අනුමැතියකින් තොරව මෙලෙස හදිසියේ මිල ගණන් කැඳවීමට විරෝධය පළ කර ඇති අමාත්‍යාංශ නිලධාරින් ඒ සඳහා බලය ඇත්තේ අමාත්‍යාංශ ලේකම්වරයාට විනා සංස්ථාවේ සභාපතිවරයාට නොවන බව ඇමැතිවරයා හමු වී ප්‍රකාශ කර තිබේ. ඇමැතිවරයා එම මිල ගණන් කැඳවීම නතර කිරීමට ඊයේ කටයුතු කර ඇත්තේ නිලධාරින්ගේ එල්ල වූ මෙම විරෝධය නිසා ය.

හදිසි මිලදී ගැනීම් වශයෙන් ලබා ගන්නා මෙම ඖෂධ සඳහා අනුමැතිය දෙන ලෙස ඇමැතිවරයා ජාතික ඖෂධ නියාමන අධිකාරියට පෙරේදා (13) දැනුම් දීමක් ද කර තිබිණි.

ඖෂධ මිලදී ගැනීම් සම්බන්ධයෙන් තීරණය කෙරෙන්නේ අමාත්‍යාංශ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් යුත් ප්‍රසම්පාදන කමිටුවකින් වන අතර ඊට අතිරේක ලේකම් ( ප්‍රසම්පාදන ) සහ මුදල් අමාත්‍යාංශයේ නියෝජිතයන් ද ඇතුළු පිරිසක් අයත් වෙති.

මේ පිළිබඳ විමසීමට සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ලගේ ජංගම දුරකතනයට අවස්ථා කිහිපයකදී ඇමතුම් ලබා දුන්නද සම්බන්ධ කර ගැනීමට නොහැකි විය.

Share This