කෝටි තුනක භාණ්ඩ සමග 4ක් කටුනායකදී අත්අඩංගුවට

කෝටි තුනක භාණ්ඩ සමග 4ක් කටුනායකදී අත්අඩංගුවට

රජයට අයවිය යුතු තීරු බදු ඇතුළු අනෙකුත් බදු නොගෙවා ගුවන් තොටුපොළ සියලු පරීක්ෂණ ආයතන මග හරිමින් කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් තිබූ නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ආනයනය කර තිබූ රුපියල් කෝටි තුනක් පමණ වටිනා භාණ්ඩ තොගයක් සමග එම භාණ්ඩ තොගය මෙරටට රැගෙන විත් තිබූ පුද්ගලයන් සිව් දෙනෙකු අද (19) දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ පොලිසියේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම පුද්ගලයන් දිනපතාම ගුවන් මගින් ඩුබායි ඇතුළු වෙනත් රටවලට ගොස් මේ ආකාරයට නීතිවිරෝධී ලෙස භාණ්ඩ ශ්‍රී ලංකාවට රැගෙන එන්නන් බව පොලිසිය සිය මූලික විමර්ශන කටයුතු වලදී අනාවරණය කර ගෙන තිබේ.

මෙම භාණ්ඩ තොගය පිළිබඳ කොට්ඨාස බුද්ධි තොරතුරු ඒකකයේ නිලධාරීන් වෙත ලැබී තිබූ තොරතුරක් මත මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර තිබේ.

මෙසේ අත් අඩංගුවට ගත් භාණ්ඩ අතර විවිධ වර්ගයේ ලැප්ටොප් පරිගණ, අයි ෆෝන්, විවිධ ජංගම දුරකථන, ජංගම දුරකථන උපාංග, විදේශීය නිෂ්පාදිත දුම්වැටි, ස්වර්ණාභරණ, විවිධ වර්ගයේ විස්කි, සුවද විළවුන් සහ මෝටර් රථ අමතර කොටස් විය.

කැළණිය, වීරකැටිය, පුත්තලම සහ කොළොන්නාව ප්‍රදේශයේ පදිංචිකරුවන් සිව් දෙනෙකු විසින් මෙම භාණ්ඩ තොගය නීතිවිරෝධී ලෙස රැගෙන විත් තිබූ අතර ඔවුන්ට මේ ආකාරයට දිනපතා විදේශගත වෙමින් මෙරටට භාණ්ඩ ගෙන ඒම සදහා, ඔවුන් සතු ආර්ථික පසුබිම සොයා බලා ඒවා පිළිබඳ ඉදිරි කාලයේ නෛතික පියවර ගැනීමට ද පොලිසිය කටයුතු කරමින් සිටිති.

මෙම පුද්ගලයන් සිව් දෙනා සහ මෙම භාණ්ඩ තොගය වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් වෙත භාර දීමට නියමිතය.

Share This