කැලේ පැලට අලුතින් එකතු උන තුන් නිවුන් පැටවුන්ගේ දුක හිතෙන කතාව

කැලේ පැලට අලුතින් එකතු උන තුන් නිවුන් පැටවුන්ගේ දුක හිතෙන කතාව

හබරණ පුවක්පිටිය ප්‍රදේශයේ මහා වන මැද පුංචි කටු මැටි ගැසූ පැලක දිවා කාලයේ ජීවත් වන රාත්‍රිය ගසක් උඩ පැලක ජිවත්වන තරුණ මවක් පසුගිය අම්මාවරුන්ගේ දිනයට පැය කිහිපයක් තියෙද්දී දඹුල්ල රෝහලේදී තුන් නිවුන් පිරිමි දරු උපතක් සිදුකලාය.

මෙම මවට තවත් අවුරුදු 03 ක පුංචි දියණියක්ද සිටී, මීට පෙර නිවුන් පුතුන් දෙන්නෙක් අහිමි වූ බවද කියයි.

මෙසේ තුන් නිවුන් දරු උපත සිදුකර ඇත්තේ, හබරණ පුවක්පිටිය පදිංචි 25 හැවිරිදි ගිහානි සුපෙෂලා කුමාරි නමැති මවකි, මේ දරුවන්ගේ පියා සන්ජිත් අසෝක දයානන්ද මහතා කැලේ ගසක් උඩ තැනු අලි පැලකින් බිමට වැටී අබාධිතව පසුවෙන බව එම මව පවසන්නීය.

දරුවන්ගේ මව හා පියා දඹුල්ල රෝහලෙන් දරුවන් තුන් දෙනා අරගෙන සුපුරුදු වන මැද පැලට ඊයේ (14) පස්වරුවේ මොර සූරන වරුසාවේ රැගෙන ආහ. වරුසාවට පුංචි පැල තෙමී හිරිකඩ ගෙතුලට එද්දී පුංචි පැටවූ මොරදී හඩද්දී පියාත් මවත් සංවේදී වන අයුරු එහි ගිය අපට දැකගැනීමට හැකිවිය.

දඹුල්ලේ සිට කිලෝමීටර් 40ක් පමණ දුරක් මෙම ගමට යා යුතුව ඇත. මෙම දරුවන් රැගෙන යාමට ත්‍රීරෝද රථයක් ගෙනවිත් තිබුනේ අබාධිත පියාට හැකි ආකාරයටය. එහෙත් වරුෂාව නිසා එම රථයෙන් දරුවන් ගෙන යන්නට නොහැකි වූ තැන මාධ්‍යවේදීන් වන අප මේ පැටවුන්ට ගමන් පහසුකම් ලබාදෙන්නට ඉදිරිපත් උනෙමු.

මව අප සමග කීවේ දරුවන් ලැබෙන්න යනතුරුම වන අලින්ගෙන් බේරෙන්න වන මැද ගසක් උඩ තැනු පැලක රැය පහන් කල බවය. මේ පැටවුන් අරගෙන ගිය කටු මැටි ගැසූ ටකරන් තහඩු සෙවිලි කල නිවසට විදුලිය, ජලය කිසිවක් නැත.

පැටවූ ටික අරගෙන යනකොටම මහා වරුසාවක් වැටුණි, නිවස හැමතැනම තෙමෙන්නට විය, හිරිකඩ ගේ පුරා යන්නට විය.

මේ පුංචි පැටවුන්ට අම්මගේ කිරි ප්‍රමාණවත් බව දොස්තර මහත්වරු පවසා තිබේ. එහෙත් ඇදුම්, සබන්, මදුරු දැල් ආදී පැටවුන්ට අඩුපාඩු රැසකි.

මේ පැටවුන්ට ඉන්න අඩුම තරමේ පුංචි කාමර දෙකක් හදලා දෙන්න හැකිනම් ඒක මහා ශක්තියක් බව මව පවසන්නීය.

මේ දෙමාපියන්ට, මේ පවුලට කතා කරන්න දුරකථනයක් නොමැත. දරුවන්ගේ පියා සන්ජිත් අසෝක දයානන්ද මහතාගේ නමට හබරණ මහජන බැංකුවේ ගිණුමක් පවති.

එම ගිණුම් අංකය 203 2 002 3 00 29445, සම්බන්ධීකරණයට 0773416157 කාංචන කුමාර ආරියදාස

සටහන – එස්. කරුණාරත්න