රුසියානු සහායෙන් මෙරට පළමු න්‍යෂ්ටික බලාගාරය 2032 දී ඉදිකෙරේ

රුසියානු සහායෙන් මෙරට පළමු න්‍යෂ්ටික බලාගාරය 2032 දී ඉදිකෙරේ

සියලුම කටයුතු සැලසුම් කර ඇති අයුරින් සිදුවුවහොත් රුසියානු තාක්ෂණික සහාය ඇතිව පළමු න්‍යෂ්ටික බලාගාරය 2032 වන විට ශ්‍රී ලංකාවේ ඉදිකළ හැකි බව ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය, බලශක්ති හා ප්‍රවාහනය පිලිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සඳහන් කළේය.

ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයේ වත්මන් තත්ත්වය සහ ඉදිරි කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා බලශක්ති හා ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (09) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී මෙම කරුණ අනාවරණය විය.

ශ්‍රී ලංකාව තුළ වෑද්දුම් ශිල්පය (Welding) සහ තාක්‍ෂණ ක්‍ෂේත්‍රයේ නිපුණත්වයන් සහිත වෘත්තිකයන් බිහිකිරීම සම්බන්ධයෙන් කාරක සභාවේ දී දීර්ඝ වශයෙන් සාකච්ඡා විය. කොරියාව ඇතුළු කාර්මික රටවල මෙම ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සඳහා විශාල ඉල්ලුමක් පවතින බවත් ශ්‍රී ලංකාවේ මෙම ක්ෂේත්‍රයේ විධිමත් සහතිකයන් සමග පුහුණු ශ්‍රමිකයන් බිහිකිරීමට විධිමත් යාන්ත්‍රණයක අවශ්‍යතාවය පිළිබඳ කාරක සභාවේ සාමාජිකයෝ පෙන්වා දුන්හ.

දැනටමත් මෙම අංශයේ වෘත්තීය පළපුරුද්ද ඇති සහ එම ක්ෂේත්‍රයට අලුතින් ඇතුළත් වන අය සඳහා පුහුණු සහ සහතික කිරීමේ ක්‍රමය මණ්ඩලය විසින් පවත්වාගෙන යනු ලබන පුහුණු මධ්‍යස්ථානයේ සිදු කරන බව නිලධාරීහු සඳහන් කළහ. එහෙත්, මෙම පුහුණුව පිළිබඳව ජනතාව අතර නිසි දැනුවත් වීමක් නොමැති බැවින් ඒ සඳහා සැලැස්මක් සකස් කර වැඩි වශයෙන් නවකයින් සම්බන්ධ කර ගැනීමට පියවර ගන්නා ලෙස කාරක සභාව විසින් උපදෙස් ලබා දෙන ලදී.

සෞදි අරාබියේ ගස් බිලියන 10ක් සිටුවීමේ ව්‍යාපෘතිය සඳහා ජීවානුහරණය කළ කොහු බත් ශ්‍රී ලංකාවෙන් ලබා ගැනීමට සෞදි අරාබිය බලාපොරොත්තු වන බව ද මෙහිදී සාකච්ඡා විය. ජීවානුහරණය සඳහා පහසුකම් ලබාදීමෙන් විශාල විදේශ විනිමය ප්‍රමාණයක් රටට ලබාගත හැකි බව කාරක සභාවේ සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මහතා සඳහන් කළේය. ඒ අනුව, මෙම ජීවානුහරණය පහසුකම සකස් කිරීමට පියවර ගන්නා ලෙස කාරක සභාව ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයට උපදෙස් දුන්නේය.

මෙම කාරක සභාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගරු දයාසිරි ජයසේකර, ගරු නලින් බණ්ඩාර ජයමහ, ගරු යදාමිනි ගුණවර්ධන, ගරු ඉසුරු දොඩංගොඩ, ගරු උදයකාන්ත ගුණතිලක, ගරු එම්. උදයකුමාර්, ගරු කුමාරසිරි රත්නායක සහ ගරු අකිල එල්ලාවල යන මහත්වරුන් සහභාගී වූහ.

Share This