වී වගාවට හානි කරන ‘ගොඩවෙල්ලා‘ පණු විශේෂය ගැන දුනුම් දීමක්

වී වගාවට හානි කරන ‘ගොඩවෙල්ලා‘ පණු විශේෂය ගැන දුනුම් දීමක්

ප්‍රදේශ කිහිපයකින් ‘ගොඩවෙල්ලා‘ නැමැති පණු විශේෂ කිහිපයක් මගින් වී වගාවට හානි සිදු වී ඇති බවට වාර්තා වන බැවින් රෝගය පාලනය සඳහා ගොවිජනතාව ප්‍රාදේශීය කෘෂිකර්ම නිලධාරින්ගෙන් උපදෙස් මත කටයුතු කරන ලෙස කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.

දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් ගොඩවෙල්ලා නැමැති Spodoptera කාණ්ඩයට අයත් දළඹු විශේෂ තූනක් පැළ ගොයමට හානි කරන බවට තොරතුරු වාර්තා වී ඇති අතර ඊයේ මාධ්‍ය ඔස්සේ ආනමඩුව හා දිඹුලාගල ප්‍රදේශවල මෙම රෝගය වාර්තා වන බවට තොරතුරු අනාවරණය කළේය.

මේ සම්බන්ධව අවදානය යොමු කළ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා වහාම එම රෝග පාලනය සදහා අවශ්‍ය පියවර ගන්නා ලෙස කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරියට උපදෙස් දී ඇත.

ඒ අනුව අද(30) ආනමඩුව හා දිඹුලාගලට විශේෂ නිලධාරින් දෙදෙනෙක් සහිත කණ්ඩායමක් යවා මේ සම්බන්ධව පරීක්ෂා කිරීමට බතලගොඩ වී පර්යේෂණාතයතනය විසින් කටයුතු යොදා තිබේ.

ගොඩවෙල්ලා නැමැති මෙම දළඹු විශේෂය පාලනය නොකළහොත් විශාල විනාශයක් වී වගාවට සිදු කරනු ලබයි. එමනිසා දිවයින පුරා නිලධාරින් 150කට අධික ප්‍රමාණයක් මෙම දළඹු විශේෂය පාලනය සඳහා පුහුණු කර ඇති අතර ඔවුන් විසින් කෘෂිකර්ම ව්‍යාප්ති සේවා පවත්වාගෙන යනු ලබයි.

කෙසේ වුවද ආනමඩුව කොට්ටුකච්චිය හා දිඹුලාගල ප්‍රදේශවල ඇතැම් කුඹුරුවල බහුල වශයෙන් මෙම දළඹුවන් සිටින නිසා තනුක කාමිනාශක කිහිපයක් ඒ සඳහා නිර්දේශ කර තිබේ.

එම කෘමිනාශක පිළිබඳ තොරතුරු හා වෙනත් රෝග පාලන ක්‍රම තොරතුරු ප්‍රදේශය බාර කෘෂිකර්ම නිලධාරියා වෙතින් ලබා ගැනීමට පිළිවන. ඊටත් අමතරව මෙම දළඹු විශේෂය පාලනය සඳහා විශේෂ ක්‍රම කිහිපයක් ද ඇති නිසා තම කුඹුරු වගාවන් හි මෙම දළඹු විශේෂය සිටින්නේ නම් වහාම කෘෂිකර්ම නිලධාරි කාර්යාලයට ගොස් අදාල නිලධාරින් හමුවී රෝග පාලනය සඳහා උපදෙස් ලබා ගන්නා ලෙස කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඉල්ලිමක් කරයි.

Spodoptera කාණ්ඩයට අයත් දළඹු විශේෂ තුනක් විසින් මෙම හානිය සිදු කරනු ලබයි. Spodoptera mauritia, Spodoptera litiura, spodoptera exigua යන දළඹු විශේෂ තුන විසින් මෙම හානිය සිදු කරන අතර ඔවුන් බාහිර ස්වරූපය අනුව සේනා දළඹුවාට Fall Armywarm හාත්පසින්ම සමානය.

මෙම රෝගය පාලනය කළ හැකි රෝග තත්ත්වයකි. මින් පෙර උතුරු හා නැගෙනහිර පළාත්වලින් ද මෙම රෝගය වාර්තා වූ අතර ගොවිජනතාවගේ සහයෝගය මත එම රෝගය ව්‍යාප්තිය සාර්ථකව පාලනය කිරීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට හැකි විය. එමෙන්ම මේ දිනවල ඇතැම් ප්‍රදේශවලින් මෙම රෝග තත්ත්වය වාර්තාවන බැවින් ගොවි ජනතාවගේ සහයෝගය මත එය පාලනය කිරීම ඉතාමත් පහසු බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.

ඒ සඳහා සැම විටම කෘෂිකර්ම නිලධාරින් වීසින් ලබා දෙන උපදෙස් අනුව කටයුතු කරන ලෙස කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සියලු ගොවි ජනතාවගෙන් ඉල්ලා සිටී.