දිළිඳු සහනාධාරය හිමි පවුල්වල දරුවන්ට “සිසු සැරිය” නොමිලේ

දිළිඳු සහනාධාරය හිමි පවුල්වල දරුවන්ට “සිසු සැරිය” නොමිලේ

සමාජ සහනාධාරය ප්‍රතිලාභ යටතේ දිළිඳු සහනාධාරය ලබන පවුල් වල දරු දැරියන් සඳහා, සිසු සැරිය බස් සේවාවේ නොමිලේ ගමන් කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළ සකස් කරන බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

අද (30) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී යොමු වූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළේය.

වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යරයා පැවසුවේ, එම දරුවන්ට නොමිලයේ සිසුු සැරිය බස් සේවාවේ ගමන් කිරීමට අවස්ථාව ලබා දෙන බවත් ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ සකස් කරන බවයි.

සිසු සැරිය බස්රථ සේවාව පවත්වාගෙන යන්නේ අසීරුවෙන්. ඒ සඳහා ලැබෙන සහණාධාරය ප්‍රමාණවත් නැහැ. කිසිම සංශෝධනයක් නොකර එම බස්රථ සේවාව නතර කළ හැකියි. නමුත් අපි සුවහසක් දරුවන් වෙනුවෙන් පවත්වාගෙන යන මෙම බස්රථ සේවාව සම්පූර්ණයෙන් නතර කිරීමේ බලාපොරොත්තුවක් නැහැ. මෙම බස්රථවල ගමන් කරන සියළුම පාසල් දරුවන් සඳහා 70%ක් සහනාධාරයක් රජය ලබා දෙනවා. 30%ක් දෙමාපියන් දරනවා. නමුත් අද වන විට එම 30%වත් දරන්න බැරි දෙමාපියන් ඉන්නවා. එවැනි සිසුන්ට කිසිදු අයකිරීමකින් තොරව මෙහි ගමන් කිරීමට අවස්ථාව ලබා දෙනවා”යැයි ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.