ගංගාවල ජල මට්ටම තවදුරටත් ඉහළට

ගංගාවල ජල මට්ටම තවදුරටත් ඉහළට

ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක හරහා ගලා බසින සියලුම ගංගා සහ රත්නපුර දිස්ත්‍රික්කය හරහා ගලා බසින කළුගඟ සහ එහි අතු ගංගාවල ජලය තවදුරටත් ඉහළ මට්ටමක පවතින බැවින් එම ගංගා භාවිත කිරීමේදී දැඩි අවධානයක් යොමු කරන ලෙස වාරිමාර්ග අධ්‍යක්ෂ (ජල විද්‍යා සහ ආපදා කළමනාකරණ) එස්.පී.සී. සුගීෂ්වර මහජනතාවගෙන් ඉල්ලා සිටී.

මෙම ගංඟාවල පිහිනීම, දියනෑම, ඔරු පැදීම ඉතා අනතුරුදායක බවද ඔහු පැවසීය.

බස්නාහිර සහ දකුණු පළාතේ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක හරහා වැටී ඇති දිවයිනේ ප්‍රධාන ගංගාවල පහළ ප්‍රදේශයන්හි පවතින ගංවතුර තත්ත්වය ඊයේ (01) දිනයේ සිට සුළු වශයෙන් අඩුවෙමින් පවතින බව ද ඔහු කීවේය.

නිල්වලා ගං ද්‍රෝණියේ අකුරැස්ස, අතුරලිය, කඹුරුපිටිය, තිහගොඩ, මාලිම්බොඩ සහ මාතර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ආශ්‍රිත පහත් බිම් ප්‍රදේශත්, ගිං ගඟ ද්‍රෝණියේ නාගොඩ, උඩුගම, බද්දේගම සහ ගාල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පහත් බිම් ප්‍රදේශත්, කළු ගඟ ද්‍රෝණියේ බුලත්සිංහල, පාලින්දනුවර, දොඩංගොඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පහත් බිම් ප්‍රදේශත්, අත්තනගලු ඔය ද්‍රෝණියේ වත්තල, ජා ඇල, ගම්පහ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්හි පහත් බිම් ප්‍රදේශවල පවතින ගංවතුර තත්ත්වයන් මෙලෙස ක්‍රමයෙන් අඩුවෙමින් පවතින බවද අධ්‍යක්ෂවරයා පැවැසීය.