කම්කරු දිනයේත් නිදහසක් නැති කම්කරුවෝ

කම්කරු දිනයේත් නිදහසක් නැති කම්කරුවෝ

ලෝක කම්කරු දිනය යෙදී ඇති අද (1) දිනයේ ද විවේකයක් නොමැතිව සේවය කරන පිරිසක් බවට මාර්ග පිරිසිදු කරන කම්කරුවන් පත්ව සිටිති.

දේශපාලන පක්‍ෂ කෝටි ගණනින් මුදල් වැයකර කම්කරු දින පෙළපාලි සහ රැළි පවත්මින් මුදල් නාස්ති කළ ද මාර්ග පිරිසිදු කරන කම්කරුවන් කෑමක් හෝ බීමක් ගැනීමට ස්ථානයක් හෝ නොමැති අද දිනයේ ද සේවය නිරතව සිටින ආකාරය දැකගත හැකිය.

කම්කරු දිනය යෙදී ඇති අද ( 1) කොළඹ නගරය සුද්ධ පවිත්‍ර කිරීමට 1000ක කම්කරු කණ්ඩායමක් යොදවන බව කොළඹ මහනගර සභාවේ ඝන අපද්‍රව්‍ය කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂිකා ඉන්ජිනේරු ශහිනා එම්. මයිශාන් මහත්මිය පවසයි.

වෙනත් දිනවලදී කොළඹ නගරය සුද්ධ පවිත්‍ර කිරීමට යොදන 700ක් පමණ වූ සේවක කණ්ඩායමට අතිරික්තව තවත් 300ක පිරිසක් මෙසේ සේවයට යොදා තිබේ.

දේශපාලන පක්ෂ හා වෘත්තීය සමිති සංවිධානය කරන මැයි රැලි හා පෙළපාළි මඟින් කොළඹ නගරයට අද දිනයේ එකතු වන අපද්‍රව්‍ය කඩිනමින් ඉවත් කිරීම මෙම කණ්ඩායමේ මූලික අරමුණ බව මයිශාන් මහත්මිය සඳහන් කළාය.

1000කට අධික මෙම කම්කරු බළඇණිය අද පැය 24 පුරා දිවා රෑ නොබලා සේවයෙහි නිරතවනු ඇති.

ඒ අනුව කම්කරු දිනයෙන් පසුව මැයි 2 වන දා කොළඹ නගරයට සේවා සපයා ගැනීම ඇතුළුව රාජකාරියට පැමිණෙන සාමාන්‍ය ජනතාවට පිරිසුදු නගරයක් දැකගැනීම සැලැස්වීමට කොළඹ මහනගර සභාව සිය උපරිමයෙන් මැදිහත් වන්නේ යැයි ඉන්ජිනේරු ශහිනා මයිශාන් මහත්මිය වැඩිදුරටත් සඳහන් කරයි.

Share This