ඇඳුම් සොරකම් කළ මන්ත්‍රීවරියක් ඉල්ලා අස්වෙයි

ඇඳුම් සොරකම් කළ මන්ත්‍රීවරියක් ඉල්ලා අස්වෙයි

වෙළෙඳ සැලකින් ඇඳුම් සොරකම් කළ බවට චෝදනා එල්ල වුණු නවසීලන්ත පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.

ඇඳුම් සොරකම් කළ බවට චෝදනා එල්ල වී ඉල්ලා අස්වූයේ නවසීලන්තයේ මධ්‍ය වාමාංශික හරිත පක්ෂයේ මන්ත්‍රීවරියක වන ගොල්රීස් ගහ්රමාන් ය.

ගොල්රීස්, ඉරානයේ උපත ලැබූ තැනැත්තියකි. කුඩා කළ මාපියන් සමඟ නවසීලන්තයට පැමිණ ඇත්තේ සරණාගතයකු ලෙසය. ඇය පාර්ලිමේන්තුවට තේරී පත් වූයේ 2017 වසරේදීය.

සරණාගතයකු ලෙස නවසීලන්තයට පැමිණ, එරට පාර්ලිමේන්තුවට තේරී පත් වුණු පළමු මන්ත්‍රීවරිය වන්නේ ද ගොල්රීස් ය.

43 හැවිරිදි ඇය මානව අයිතීන් වෙනුවෙන් පෙනී සිටින සමාජ ක්‍රියාකාරිනියක මෙන්ම ලේඛිකාවක ද වන්නීය. ඇය එක්සත් ජාතීන්ගේ මානව අයිතීන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරියක ලෙස ද කටයුතු කර තිබේ.

ගොල්රීස් මන්ත්‍රී ධුරයෙන් ඉවත් වීමට තීරණය කළේ ඕක්ලන්ඞ් නුවර සුඛෝපබෝගී වෙළෙඳ සැලකින් ඇඳුම් සොරකම් කිරීම සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණයක් ආරම්භ වූ අවස්ථාවේදීය.

චෝදනා එල්ල වෙද්දී තමන් ඇඳුම් සොරකම් කළ බව, ගොල්රීස් පිළිගත්තාය.

ඒ සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ අදහස් දක්වමින්, ඇය පැහැදිලි කළේ, තමන් දැඩි මානසික ආතතියකින් පෙළෙන බවත්, වරදක් බව දැන දැනත් තමන් එසේ කළේ එම ආතති තත්ත්වය මඟ හරවා ගැනීමට බවත්ය.

ඇගේ මෙම හැසිරීම තමන් ද ප්‍රහේලිකාවක් බව, ගොල්රීස් වෙනුවෙන් පෙනී සිටින නීතීඥවරයා මාධ්‍ය හමුවේ පවසා ඇත.

Share This