පාස්පෝට් නඩුවෙන් විමල් නිදොස් කොට නිදහස්

පාස්පෝට් නඩුවෙන් විමල් නිදොස් කොට නිදහස්

විදේශ ගමන් බලපත්‍ර දෙකක් භාවිතා කිරීම සම්බන්ධව ආගමන විගමන පනත යටතේ පවරා තිබූ නඩුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා නිදොස් කොට නිදහස් කර තිබේ.

ඒ, මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේදී එම නඩුව අද (01) කැඳවූ අවස්ථාවේදීයි.

එහිදී විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුව සිටි විමල් වීරවංශ 2015.10.23 දින උදෑසන 2.00ට පමණ විදෙස් ගත වීම සඳහා ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් නිසිපරිදි නිකුත් කර තිබූ ගුවන් ගමන් බලපත්‍රයක් රැගෙන කටුනායක ගුවන් තොටුපොළට පැමිණ තිබෙන බවත්, එහිදී ආගමන විගමන නිලධාරීන් විසින් එම ගමන් බලපත්‍රය අක්‍රීය කරන ලද ගමන් බලපත්‍රයක් බවට දත්ත පද්ධතියේ පෙන්නුම් කරන බවට මන්ත්‍රීවරයාට දැනුම් දී තිබෙන බවත් ඔහු වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න ප්‍රකාශ කළේය.

අනතුරුව එම බලපත්‍රයේ වලංගු වීසා පැවති බැවින් වලංගු ගමන් බලපත්‍රයක් රැගෙන පැමිණිය හොත් විදෙස් ගත විය හැකි බව එම නිලදාරීන් මන්ත්‍රීවරයාට එහිදී ප්‍රකාශ කර තිබේ.

එහිදී මන්ත්‍රීවරයා එම අක්‍රීය ගමන් බලපත්‍රය ප්‍රධාන කාර්යාලයට ඉදිරිපත් කර පසුදින නව ගුමන් ගමන් බලපත්‍රයක් ලබාගෙන ඇති අතර, ඉන් පසුව පසුදින උදෑසන නව සක්‍රීය ගුවන් ගමන් බලපත්‍රයත් සමඟ වලංගු විසා පවතින අක්‍රීය ගුවන් ගමන් බලපත්‍රයත් රැගෙන නැවතත් ගුවන් තොටුපොළට පැමිණ ඇති අවස්ථාවේදී ආගමන විගමන නිලධාරීන් විසින් මන්ත්‍රීවරයාව අත්අඩංගුවට ගෙන ඇති බවයි නීතීඥවරයා අධිකරණය හමුවේ ප්‍රකාශ කරනු ලැබුවේ.

එහිදී අක්‍රීය ගුවන් ගමන් බලපත්‍රයක් රැගෙන පැමිණීම අපරාධමය වරදක් නම්, පළමු අවස්ථාවේදීම අත්අඩංගුවට නොගත්තේ ඇයිද යන්න නීතීඥවරයා විමසූ අතර, මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරු විසින් මේ සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීම පනත යටතේ ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් තොරතුරු ඉල්ලීමක් ද සිදු කර තිබුණු අතර එහිදී ද ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ, අක්‍රීය ගුවන් ගමන් බලපත්‍රයක පවතින වලංගු විසා භාවිතා කර සක්‍රීය ගුවන් ගමන් බලපත්‍රයක් මගින් විදේශගත වීමට හැකියාවක් පවතින බවයි.

එමෙන්ම මන්ත්‍රීවරයා ඉදිරිපත් කළ ගමන් බලපත්‍රය අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර හෝ ව්‍යාජව සැකසූ එකක් නොවන බවත් ආගමන විගමන නිලධාරීන් අධිකරණයට සාක්ෂි ලබා දෙමින් පිළිගන්නා ලදී.

ඒ අනුව, විත්තිකාර මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනීසිටි නීතීඥවරයා ඉල්ලා සිටියේ, මෙම කරුණු සියල්ලම සැලකිල්ලට ගෙන විත්තිය නොකැඳවාම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාව නිදොස් කොට නිදහස් කරන ලෙසයි.

එම ඉල්ලීම සළකා බැලූ මීගමුව මහේස්ත්‍රාත්වරයා පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ එම නඩුවෙන් නිදොස් කොට නිදහස් කරනු ලැබීය.