පැහැරගෙන යමින් තිබූ වාහනය මඟ දමා කොල්ලකරුවෝ පැනයති

පැහැරගෙන යමින් තිබූ වාහනය මඟ දමා කොල්ලකරුවෝ පැනයති

ගාල්ල, පෝද්දල ප්‍රදේශයේ නිවසකින් පැහැරගත් මෝටර් රථයක් ඇල්පිටිය, ජම්බුගහහේන කන්ද ප්‍රදේශයේ මාර්ගයක අතහැර දමා කොල්ලකරුවන් පලාගොස් ඇතැයි ඇල්පිටිය පොලිසිය පවසයි.

අද (01) අලුයම 2.30ට පමණ අදාළ මෝටර් රථය පැහැරගෙන ගොස් ඇති අතර, ඒ පිළිබඳව රථයේ හිමිකරු විසින් ඇල්පිටිය පොලිස් අධිකාරි කාර්යාලය දැනුවත් කර තිබේ.

ඒ අනුව, ඇල්පිටිය හා ඌරගස්මංහන්දිය පොලිස් ස්ථානවල පොලිස් කණ්ඩායම් දෙකක් අද (01) අලුයම සිට සෝදිසි රාජකාරියේ යෙදමින් සිට ඇත.

ඒ, අනුව ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් පැහැරගත් මෝටර් රථය පසුපස ලුහුබැඳ ගොස් තිබේ.

ඒත් සමග මෝටර් රථය පැහැරගෙන යමින් සිටි පිරිස ඇල්පිටිය අලුත්ගම ප්‍රධාන මාර්ගයේ ඌරගස්මංහන්දිය දෙසට ගොස් නවදගල ජම්බුගහහේන ප්‍රදේශයේ කන්දක වාහනය දමා පැනගොස් ඇති බව පොලිසිය කියයි.

මෝටර් රථය පැහැරගෙන යමින් සිටිය දී එහි ටයරයක් ද පුපුරා ගොස් ඇති අතර, පොලිසිය රථය ලුහුබැඳීමත් සමඟ එය නොතකා කොල්ලකරුවන් විසින් ධාවනය කර ඇති බවට අනාවරණය වී තිබේ.