හෙවණකුඹුරේ අතුරුදන් වූ දරුවන් ගල් ගුහාවකින් හමුවෙයි

හෙවණකුඹුරේ අතුරුදන් වූ දරුවන් ගල් ගුහාවකින් හමුවෙයි

වැලිමඩ කැප්පෙටිපොල පොලිස් බල ප්‍රදේශයට අයත් හෙවණකුඹුර ප්‍රදේශයේ නිවෙස් වලින් අතුරුදන්ව සිටි පාසල් යන වයසේ පසුවන පිරිමි දරුවන් තිදෙනෙක් එම ගම්මානය ආසන්නයේ වු කළුකැලේ ගල් ගුහාවකින් සොයා ගැනීමට ඊයේ (27) පස්වරුවේ කැප්පෙටිපොල පොලිසියට හැකිව තිබේ.

මෙසේ නිවෙස් වලින් අතුරුදන්ව සිටියේ වයස අවුරුදු 14 පසුවන පිරිමි දරුවන් තිදෙනෙකි.

මෙම දරුවන් පසුගිය 26 වන දින පස්වරුවේ සිට නිවෙස් වලින් අතුරුදන්ව සිට ඇති අතර නිවැසියන් හා ගම්වාසින් මෙම දරුවන් 26 වන දින රාත්‍රියේදී සෙව්වද සොයා ගැනීමට නොහැකි වී ඇති අතර දරුවන්ගේ දෙමාපියන් විසින් මේ බව කැප්පෙටිපොල පොලිසියට පැමිණීලි කර තිබේ.

ඒ අනුව වහා ක්‍රියාත්මක වු කැප්පෙටිපොල පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක චානක රාජපක්ෂ මහතා ගම්වාසින්ගේද සහය ඇතිව පොලිසියේ නිළධාරින්ද යොදවා කණ්ඩායම් පහක් මෙම දරුවන් සෙවීමේ කටයුතු සදහා යොදවා තිබිණ.

මෙහිදී මෙම අතුරුදන්ව සිටි දරුවන්ගේ මිතුරෙකුගෙන් ලද තොරතුරක් මත හෙවනකුඹුර ගම්මානයට ආසන්නයෙන් වු කළු කැලේ වන රක්ෂිතයට මෙම දරුවන් ඇතුළු වී ඇති බවට ලැබුණු හෝඩුවාවක් මත කළු කැලයේ මෙම දරුවන් සෙවිමේ මෙහෙයුම 27 දා පෙරවරුවේ ආරම්භ කෙරිණ.

දවස පුරා සිදු කල අසීරු මෙහෙයුමකින් පසු දරුවන් තිදෙනා කළු කැලේ ගල් ගුහාවක් ආසන්නයේදී සොයා ගැනීමට පොලිසියට සහ ගම්වාසින්ට හැකිව තිබේ.

දරුවන්ගෙන් කල ප්‍රශ්ණ කිරීම් වල දී ඔවුන් පවසා ඇත්තේ පාසලේද නිවාඩු ලබා දෙන නිසා විනෝදයෙන් නිවාඩු කාලය ගත කිරීමේ අරමුණ ඇතිව කැලයට ඇතුළු වු බවත් කැලයේ තවත් ඇතුලට යැමට අදහස් කලත් එක් ළමයෙන් අසනීප වු නිසා ගල් ගුහාවේ රැය පහන් කල බවයි.

මොවුන් ගල් ගුහාවේදී කැම පිළියෙල කරගෙන රාත්‍රියේ කෑම අනුභව කර ඇති බවත් පොලිසිය පවසයි. දරුවන් වැඩි දුරටත් පොලිසියට පවසා ඇත්තේ තමන් මෙවන් ගමනක් යන බවක් නිවෙස් වලට පැවසුව හොත් කිසිසේත් තමන්ට මෙම ගමන යෑමට දෙමාපියන් ඉඩ නොදෙන නිසා නිවෙස් වලට හොරෙන් තමන් මෙම ගමන යෑමට තීරණය කල බවයි.

දරුවන්ගෙන් වැඩි දුර ප්‍රශ්ණ කිරීම සදහා කැප්පෙටිපොල පොලිසිය වෙත දරුවන් හා ඔවුන්ගේ දෙමාපියන් රැගෙන ගිය අතර කැප්පෙටිපොල පොලිසිය වැඩිදුර විමර්ශණ සිදු කරති.

Share This