වසරක වාහන ආනයනයට නිශ්චිත බලපත්‍ර ප්‍රමාණයක් ?

වසරක වාහන ආනයනයට නිශ්චිත බලපත්‍ර ප්‍රමාණයක් ?

වාහන ආනයනය සම්බන්ධයෙන් ප්‍රතිපත්පතියක් සකස් කිරීමට ජනපතිවරයා කමිටුවක් පත්කළ බවත් විවෘත වාහන ප්‍රතිපත්තියකට යනවාද එසේ නොමැතිනම් වාහන ආනයනය සඳහා සෑම වසරකම නිකුත් කරන නිශ්චිත බලපත්‍ර ප්‍රමාණයක් නිකුත් කරනවාද යන්න පිළිබඳව එහිදී සලකා බැලෙනු ඇති බවත් ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානී, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනපති උපදේශක සාගල රත්නායක මහතා පවසයි.

සාගල රත්නායක මහතා මේ බව සඳහන් කළේ ඊයේ (01) පෙරවරුවේ කොළඹ ගාලු මුවදොර හෝටලයේ පැවති “Safe Roads – Safe Children” ජාත්‍යන්තර මාර්ග ආරක්ෂණ සමුළුව-2023 අමතමිනි.‍

“වාහන ආනයනය පිළිබඳ ප්‍රතිපත්තියක් සකස් කිරීම සඳහා ජනාධිපතිතුමා විසින් කමිටුවක් පත් කළා. අපට වාහන ආනයනය පිළිබඳ විවෘත ප්‍රතිපත්තියක් තිබිය යුතුද, නැතහොත් වාහන ආනයනය සඳහා සෑම වසරකම නිකුත් කරන නිශ්චිත බලපත්‍ර ප්‍රමාණයක් පවතින සිංගප්පූරුවේ තිබෙන ක්‍රමයට සමාන ක්‍රමවේදයකට අප යා යුතුද යන්න එමඟින්‍ සොයා බැලෙනවා.

ඒ වගේම මාර්ගවල ධාවනය වන වාහන ප්‍රමාණය තිරසරව පවත්වාගෙන යාම සඳහා යම් ප්‍රමාණයක් වාහන රටින් පිට කිරීමද සිදු කළ යුතුයි.

එවිට සාම්ප්‍රදායික ඩීසල් හෝ පෙට්‍රල් වාහනවලට සාපේක්ෂව විද්‍යුත් වාහන භාවිතා කිරීම පිළිබඳව ද අප සලකා බැලිය යුතුයි.

මෙහිදී ඉදිරි ආර්ථික තත්ත්වය සහ මාර්ගවල තත්ත්වය වැනි විවිධ කරුණු පිළිබඳවද අවධානය යොමු කළ යුතු වෙනවා. ඒ වගේම මාර්ග අනතුරු යන කාරණය ද මෙහිදී වැදගත් වෙනවා.

මේ අනුව අදාළ සැලසුම් සකස් කිරිමේ දී මෙම කමිටුවට මේ සියලුදෙනා සමග සාකච්ඡා කිරීමට සිදු වේවි.”

Share This