කාසල් රෝහලේ සය නිවුන් දරු උපතක්

කාසල් රෝහලේ සය නිවුන් දරු උපතක්

කොළඹ කාසල් වීදිය මාතෘ රෝහලේ දී අද (17) උදෑසන මවකට සය නිවුන් දරු උපතක් සිදුව ඇතැයි රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය අජිත් දන්තනාරායන මහතා පවසයි.

රාගම ප්‍රදේශයේ පදිංචි මවක් විසිනුයි මෙලෙස පිරිමි දරුවන් 6 දෙනෙකු බිහිකර ඇත්තේ.

බිලිඳුන් සයදෙනාම මේ මොහොතේ යහපත් සෞඛ්‍ය තත්වයේ පසුවන බවත් ඔවුන් ළදරු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි, එම රෝහලේ ළදරු ඒකකය භාර විශේෂඥ වෛද්‍ය බී.සී. සමන් කුමාර මහතා සඳහන් කළේ.

එම බිලිඳුන්ගෙන් පස්දෙනෙක් මේ වනවිට කාසල් රෝහලෙත් එක් අයෙක් කොළඹ ළමා රෝහලෙත් ප්‍රතිකාර ලබන බව වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර බිලිඳුන් සියලුදෙනාටම කෘතිම ස්වසනය ලබාදෙන බව ද පැවසු වෛද්‍ය සමන් කුමාර මහතා වැඩිදුරටත් කියාසිටියේ, ඔවුන්ව ජීවත් කරවීම දැඩි අභියෝගයක් බවය.

“අපිට උපකරණවල හෝ ඖෂධවල අඩුපාඩුවක් නොමැතිව අපට මේ කටයුතු කරන්න හැකියාව ලැබිලා තියෙනවා. නමුත් ලොකු අභියෝගයක්. මෙම දරුවන් හයදෙනා ලැබුණේ සති 26කින්… ඒ වගේම දරුවන් බර ග්‍රෑම් 400 – 700ත් අතර. ඉතින් එහෙම දරුවෙක් ජීවත් කරවනවා කියන එක වෛද්‍ය කාර්ය මණ්ඩලයේ අපිට ලොකු අභියෝගයක්. නමුත් අපි ඒ කටයුතු යුහුසුළුව කරගෙන යනවා.

මේ දරුවන් හයදෙනාගේ කතාව ඇතුළේ සමාජය දැනුවත් නැති කතාවක් තියෙනවා. ඒ තමා නළ උපත් සිදුකරනකොට නියාමනයක් තියෙනවා. වෛද්‍ය සදාචාර තියෙනවා. ඒ අනුව තමා අපි කටයුතු කළ යුත්තේ. මොකද මේ වගේ දරුවන් 6 දෙනෙක් එකපාර ජීවත් කරවීම රෝහලටත්, ඒකකයටත්, මේ පවුලටත් ඉතාම ලොකු අභියෝගයක් සහ බරක්. සාමාන්‍යයෙන් කෘතිම දරු උපතක් සිදුකරනකොට කලලයක් හෝ දෙකක් තමා තැන්පත් කිරීම සිදුකරන්නේ. ඒ නියාමනය අපේ රටේ සිද්ධ වෙන්නේ නෑ. ඒ නිසා මේ කටයුතු කිරීමේ දී කලල කිහිපයක් තැන්පත් කරනවා. එතකොට තමා මේ වගේ විශාල දරුවන් ප්‍රමාණයක් බිහිවෙන්නේ. මේ වගේ හැමෝම අසරණ වෙන්නේ. අපේ රටේ මේ නියාමනය සිදුවිය යුතුයි. ඒකට වෛද්‍යවරු විදියට අපි කැපවෙලා කටයුතු කළත් සමාජය සහ මහජනතාවගේ දැනුවත්භාවය ඉදිරියට ගෙනියන්න අවශ්‍යයි. මොකද මේ දරුවන් හයදෙනාගේම ජීවිත මේ වනවිට අවදානම් මට්ටමේ තියෙන්නේ.”

Share This