ටයිටන් පුපුරා ගිය බවට තහවුරු වෙයි – ටයිටැනික් ආසන්නයෙන් “ටයිටන්හි” කොටස් හමුවෙයි

ටයිටන් පුපුරා ගිය බවට තහවුරු වෙයි – ටයිටැනික් ආසන්නයෙන් “ටයිටන්හි” කොටස් හමුවෙයි

ටයිටැනික් නෞකාවේ සුන්බුන් ගවේෂණය සඳහා යාත්‍රා කරමින් සිටියදී අතුරුදන් වූ “ටයිටන්” සබ්මැරීනය ව්‍යසනකාරී පිපිරීමකට ලක්ව ඇති බව අමෙරිකානු වෙරළාරක්ෂක බලකාය පවසයි.

ඒ අනුව, ටයිටන් සබ්මැරීනයේ සිටි පුද්ගලයන් පස්දෙනා මියගොස් ඇති බවට තහවුරු වී ඇතැයි අමෙරිකානු වෙරළාරක්ෂක බළධාරීහු තහවුරු කරති.

ඇමෙරිකානු වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ රියර් අද්මිරාල් ජෝන් මෝගර් ප්‍රකාශ කර ඇත්තේ, ටයිටැනික් කෞකාවේ සුන්බුන්වලට අඩි 1500ක් පමණ ආසන්නයේ තිබී සබ්මැරීනයේ කොටස් 5ක් සොයා ගැනීමට හැකිවූ බවයි.

ටයිටන් සබ්මැරීනයේ ගොඩබෑමේ කොටසක් (Landing frame) සහ පිටුපස කොටසක් (Rear Cover) මෙලෙස සොයාගැනීමට හැකිව ඇති බවයි වාර්තා වන්නේ.

එසේම ඇමෙරිකානු වෙරළාරක්ෂක බලකාය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ අදාළ ටයිටන් සබ්මැරීනය සෙවීමේ දැවැන්ත මෙහෙයුම් කටයුතු මේ වන විට අවසන් කර ඇති බවය.

කැනේඩියානු නෞකාවක මෙහෙයුම් කටයුතු අතරතුරදී ටයිටැනික් නෞකාව මුහුදුබත් වී ඇති ස්ථානය ආසන්නයේදී ටයිටන් කුඩා සබ්මැරීනයේ පසුපස කොටසක් සොයාගැනීම හරහා මෙම මෙහෙයුම අවසන් කිරීමට තීරණය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

ගිලී ගිය ටයිටැනික් නෞකාවේ සුන්බුන් නීරීක්ෂණය සඳහා අදාළ සබ්මැරීනය පසුගිය ඉරිදා අත්ලාන්තික් සාගරය වෙත පිටත්වී ගොස් තිබුණි.

පැය එකහමාරකට පමණ පසු සබ්මැරීනය සමග පැවති සබඳතා බිඳ වැටුණු බව එම ගමන සංවිධානය කළ ඕෂන් ගේට් සමාගම පැවසීය.

අදාළ යාත්‍රාවේ, පකිස්ථානයේ ධනවත් ව්‍යාපාරිකයෙක් වන ෂසාදා ඩාවුඩ්, ඔහුගේ පුත් 19 හැවිරිදි සුලේමාන්, බ්‍රිතාන්‍ය ප්‍රකෝටිපතියෙක් වන හමිෂ් හාඩින්, ඕෂන් ගේට් ප්‍රධාන විධායක ස්ටොක්ටන් රෂ් සහ ප්‍රංශ ගවේෂක පෝල් හෙන්රි නර්ජෝලට් යන අය ගමන් කර තිබුණි.

 

Share This