ප්‍රවීණ රංගන ශිල්පී සුමින්ද සිරිසේන අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ රංගන ශිල්පී සුමින්ද සිරිසේන අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ රංගධර සුමින්ද සිරිසේන මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

මිය යන විට ඒ මහතා 75 හැවිරිදි වියේ පසු වුණි.

ගම්පහ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී අද (04) උදෑසන ඒ මහතා අභාවප්‍රාප්ත වූ බව පවුලේ ඥාතීන් පැවසීය.

සුමින්ද සිරිසේන මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම්දෙන බවයි, පවුලේ සාමාජිකයින් සඳහන් කළේ.

සුමින්ද සිරිසේන උපන්නේ 1948 ජූලි 4 වැනිදා කෑගල්ලේ පිටිසර ගමක්වූ බොස්සැල්ලේදී පවුලේ වැඩිමලා ලෙසය. ඔහුගේ පියා සම්ප්‍රදායික ජන නාට්‍ය ද රඟ දැක්වූ අයෙකු විය. ගමේ පාසලේ පුස්සැල්ලාව මහා විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලැබීමෙන් පසු 1963 වසරේ තෝලංගමුව මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත් වීමට ශිෂ්‍යත්වයක් ඔහුට හිමි විය. ඔහුට බාල සහෝදරයන් දෙදෙනෙක් සහ සහෝදරියන් දෙදෙනෙක් සිටිති.

සිය පාසල් අධ්‍යාපනයෙන් පසු සිරිසේන කොළඹ ශ්‍රී ලංකා දුම්රිය සේවයට 1969 දී විශේෂ ආධුනිකයෙකු ලෙස පැමිණියේය.

රංග කලාවේ නළුවෙකු ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කරන අතරතුර සිරිසේන 1970 දී ඕමානයට ගොස් වසර දෙකක කාලයක් ව්‍යාපෘති තාක්ෂණික නිලධාරියෙකු ලෙස සේවය කළේය.

1971 ට පෙර ඔහු ජවිපෙ ක්‍රියාකාරිකයෙකු වූ අතර ජනතා විමුක්ති පෙරමුණ විසින් පවත්වන ලද රැස්වීම්වලට නොකඩවා සහභාගි විය. පක්ෂය සන්නද්ධ අරගල ක්‍රියාවලියට අවතීර්ණ වීමත් සමඟ ඔහු දේශපාලනයෙන් ඉවත් විය.

සමාජ විද්‍යාව පිළිබඳ BA උපාධියක් ඔහු ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයෙන් ලබාගත් අතර පසුව උපාධිය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් MA සම්පූර්ණ කර ඇත.

ඔහු විවාහ වී සිටින්නේ ලීලා සිරිසේන සමඟයි. මෙම යුවළට ප්‍රභාත් සහ නන්දිත යනුවෙන් පුතුන් දෙදෙනෙක් සිටිති.

2012 මැයි මාසයේදී සිරිසේන හදිසියේ ඇති වූ අසනීප තත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කරන ලදී.

එතැන් සිට ඔහුට ඇවිදීමේ දුෂ්කරතා ඇති විය. ඔහු පසුව භෞතචිකිත්සක ප්‍රතිකාර ලබමින් සිටියේය.

ඔහුගේ කලා කටයුතු වලට දිගු ඉතිහාසයක් තිබේ.1967 වසරේ රාජ්‍ය පාසල් නාට්‍ය උළෙලේ අවසන් වටයට තේරී පත් වූ නාට්‍ය පාසලේ පළමු ශිෂ්‍ය කණ්ඩායමට සම්බන්ධ විය. පසුව ලයනල් වෙන්ඩ්ට් කලා මධ්‍යස්ථානයේ විසින් ආරම්භ කරන ලද ධම්ම ජාගොඩ ශිල්ප ශාලිකා රංග පාඨමාලාව හැදෑරීය. 1969 දී ඔහු ප්‍රථම රංගනය ‘මූදු පුත්තු‘ වේදිකා නාට්‍යෙය් සනිටුහන් කළේය . ඔහු 1970 දශකයේ බොහෝ වේදිකා නාට්‍යවල රඟපෑවේය.‘මීපුර වැසියෝ‘ නාට්‍ය යේද ඔහු රඟපෑවේය.

එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ සිංහබාහු , බවකඩතුරාව, මහාසාර කඩ , මනමේ නාට්‍ය වල රගපෑ ඔහු බවකඩතුරාව වෙනුවෙන් හොඳම නළුවාට හිමි සම්මානයද දිනා ගත්තේය 2002 දී ඔහු “සිවුරංග” නමින් නාට්‍ය පාසලක් පිහිටුවීය. එම ඇකඩමියෙන් ශිෂ්‍ය කණ්ඩායම් හතරක් බිහි කිරීමට ඔහුට හැකි විය. ඉන්පසුව ඔහු කොළඹ ටවර් හෝල් ඇකඩමියේ උපදේශකවරයෙකු ලෙස සේවය කළේය.

සිරිසේනගේ ප්‍රථම ටෙලිනාට්‍යය වූයේ 1985 වසරේ සිහින නිම්නයයි. ඔහුගේ දෙවැනි ටෙලිනාට්‍යය වූ කුමාරිහාමි හි හිච්චි මහත්තයාගේ චරිතයයි . හිරුට මුවාවෙන් ටෙලි නාටකයේ ඔහු කළ රංගනයද අතිශය ප්‍රකට විය.

එතැන් පටන් ඔහු ටෙලි කතාමාලා 40කට වැඩි ගණනක රඟපා ඇත. චරිත තුනක් කතාමාලාවේ “ඊසා” ලෙස ඔහුගේ චරිතය විචාරක පැසසුමට ලක් විය. ඔහුගේ මංගල සිනමා රංගනය පැමිණියේ 1976 දුහුළු මලක් තුලිනි. සප්ත කන්‍යා , යකඩ පිහාටු , උප්පලවන්නා , සමනල තටු, ඉර හඳ යට ඇතුළු චිත්‍රපටවල රඟපා ඇත.

සේපාලිකා සහ බොරළු පාර ටෙලි නාටක වල රඟපාමින් සිටියදී ඔහුගේ අසනීප තත්ව මතුවූ අතර ඉන් පසු රංගනයට සම්බන්ධව සිටියේ නැත.

සුමින්ද සිරිසේන වේදිකාවේ සිනමාවේ හා රූපවාහිනි නළුවෙකු ලෙස රංගන දක්ෂතා දැක්වූවෙකි. බොහෝ සම්මාන උළෙලවල හොඳම නළුවා ලෙසද සම්මානය ලබා ඇත. කලා කීර්ති (2017), කලා භූෂණ (2014) පිදුම් ලබා ඇත.