වෘත්තිය පුහුණු අධිකාරියෙන් නව පාඨමාලා 44ක්

වෘත්තිය පුහුණු අධිකාරියෙන් නව පාඨමාලා 44ක්

විදෙස් රැකියා ඉල්ලුමට සරිලන පරිදි නව පුහුණු පාඨමාලා හතළිස් හතරක් හඳුන්වා දීමට තීරණය කළ බව ශ්‍රී ලංකා වෘත්තිය පුහුණු අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් විශ්‍රාමික මේජර් ජනරාල් ප්‍රියන්ත වීරසිංහ පැවැසීය.

සාත්තු සේවක සහ සංචාරක හෝටල් ක්ෂේත්‍රයට අදාළව මෙම පාඨමාලා ආරම්භ කර ඇත. එමෙන්ම මේවා මාස තුනක කෙටි කාලීන පුහුණු පාඨමාලා වේ. ශ්‍රී ලංකා වෘත්තිය පුහුණු අධිකාරියෙන් ක්‍රියාත්මක කළ පුහුණු පාඨමාලා එකසිය හතරකට 2023 වර්ෂයේදී ආධුනිකයන් තිස් නවදහසක් බඳවා ගෙන තිබිණි. එහෙත් විදෙස් රැකියාවලට ඇති ඉල්ලුම හේතුවෙන් එළැඹෙන 2024 වර්ෂයේදී හතළිස් දහසක අධුනිකයන් පිරිසක් බඳවා ගැනීමට බලාපොරොත්තු වන බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.

වෘත්තිය පුහුණු අධිකාරියේ දැනට රට පුරා මධ්‍යස්ථාන දෙසිය හතරක් පැවැතියද ඒවායේ ඇති පහසුකම් මත ඒ ඒ මධ්‍යස්ථානයට බඳවා ගන්නා ආධුනිකයන් ගණනෙහි වෙනස්කම් පැවැතිය හැකි බවද හෙතෙම වැඩිදුරටත් පැවැසීය.

වෘත්තිය පුහුණු අධිකාරියේ පුහුණු පාඨමාලා සාර්ථකව අවසන් කළ සහතිකලාභීන් තුන්දහසකට රැකියා ලබාදීමේ අරමුණින් දෙස් විදෙස් රැකියා වෙළෙඳපොළක් වෘත්තිය පුහුණු අධිකාරියේ නාරාහේන්පිට, ඇල්විටිගල මාවතේ පිහිටි ප්‍රධාන මධ්‍යස්ථානයේදී පැවැත්වීමට ද එම අධිකාරිය කටයුතු සූදානම් කර ඇත. මේ සඳහා විදෙස් රැකියා ලබා දෙන ආයතන විස්සක් සහ දේශීය රැකියා ලබාදෙන ආයතන තිහක් සහභාගි වීමට නියමිතය. ලබන 12 වැනිදා මෙම රැකියා වෙළෙඳපොළ පැවත්වෙයි.

Share This